බෝම්බ ප්‍රහාර-වෙඩි උණ්ඩවලට මුහුණ දෙමින් අපි ඉදිරියටම යනවා-රාජිත

බෝම්බ ප්‍රහාර, වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියටම ගෙනයන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ “අන්තවාදය එපා, ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු” මහා සමුළුව අද (27) පස්වරුවේ අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම මහා සමුළුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

මෙම සමුළුව ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“යුද්ධය අවසන්වීමෙන් පසු මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළා දෙවන නෙල්සන් මැන්ඩෙලා වෙන්න කියලා. නොබෙල් සාම ත්‍යාගයත් ලබාගන්න පුළුවන් කියලා කිවුවා.

නමුත් එතුමා රොබට් මුගාබේ කෙනෙක් වුනා. අපි එම මුගාබේට එරෙහිව ජනබලයක් නිර්මාණය කර වත්මන් රජය ස්ථාපිත කළා. හිටපු ජනාධිපතිවරයා සතුව වර්තමානයෙත් ජාතිවාදය, ආගම්වදය තිබෙනවා.

පසුගාමි, මිනිසත්කම නොතේරෙන කාළකණ්නි මතවාද වලින් පෝෂණය වූ නායකයෙක්. අද ජාතිවාදය වපුරමින් බලයට එන්න හදනවා. මිනිසුන් මරලා බලයට එන්න හදනවා. තම මිනිසුන් මරලා බලය ලබාගත්තාට වැඩක් නැහැ.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කළේ බණ්ඩාරනායක මහතායි. නමුත් පසුව බණ්ඩාරනායක මහතාගේ දුව 1994 වසරේ දී සිංහල හා දෙමළ භාෂා වලට සමතැන ලබාදුන්නා. බොරු වැඩ කරලා ප්‍රශ්න විසදන්න බැහැ.

භාෂාව විසදා ගැනීමට බැරි වුන තැන දෙමළ ජනතාව බලය ඉල්ලුවා. පළාත් සභා ගෙනඑන විට රට ගිනි ජාලාවක් බවට පත් කළා. නමුත් අපි රට පළමු ස්ථානයටත්, දේශපාලනය දෙවන ස්ථානයටත් තබා කටයුතු කළා.

අපි ටයි කෝට් ගහපු වෛද්‍යවරු, ඒවා ගලවලා ජාතික ඇදුම ඇදගෙන දේශපාලනට පිවිසියේ රට වෙනුවෙන්. දේශප්‍රේමීත්වය අපටත් තිබෙනවා. අපි තුට්ටු දෙකේ කාලකණ්නි සිංහලයන් නොවෙයි.

කැප්පෙටිපොල වගේ නායකයින්. සතුරට විතරයි පහර දෙන්නේ. අපිත් සිංහලකම අනුන්ගෙන් උදුරා ගන්නේ නැහැ. ජාතිවාදයට, ආගම්වාදයට එරෙහි මෙම සටන ආරම්භයක් පමණයි.

තවත් අදියරකට අපි ඔබලා කැඳවනවා. අපි ජාතිවාදයට, ආගම්වාදයට එරෙහි බලය පෙන්වනවා. මේ ගැන ඉවසුවා ඇති. බොම්බ ප්‍රහාර, වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් අපි ඉදිරියටම යනවා.”

Leave A Reply

Your email address will not be published.