කිරින්ද මුහුද එකම පවුලේ ජීවිත තුනක් බිලි ගනී

කිරින්ද මුහුදු තීරයේ රළ පෑගීමට ගිය එකම පවුලේ තිදෙනකු අද (23) රළ පහරකට හසු වී ගසාගෙන යාමෙන් ජීවිතක්ෂයට පත් වුණි.

විනෝද චාරිකාවක් සඳහා කිරින්දේ ගිය එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මෙලෙස මිය ගිය අතර දියණියන් දෙදෙනාගේ මව බරපතළ තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබයි.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ශාඛාවක සේවකයන් පිරිසක් සංවිධාන කළ කිරින්දේ විනෝද චාරිකාවක් සඳහා විසි දෙනෙකු එක්වසිටි අතර ඔවුන්ගෙන් තිදෙනකු කිරින්ද මුහුදේ රළ පෑගීමට ගොස් සිටියදී අද මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

පලටුපාන හෝටලයක නවාතැන් ගෙන සිටි එම කණ්ඩායමේ හය දෙනකු අද උදෑසන 7.30ට පමණ රළපෑගීම සඳහා මුහුදු තීරයට ගොස් ඇති අතර අනපේක්ෂිත ලෙස පැමිණි සැඩ රළ පහරකට ඉන් සිව්දෙනෙකු ගසා ගෙන ගොස් තිබුණි.

කෙසේවෙතත් අවට පිරිස් එක්ව, දියේ ගසා ගෙන ගිය සිව්දෙනා වහා වෙරළට රැගෙන ඒමට කටයුතු කළ අතර
වහාම ඔවුන්ව තිස්සමහාරාම මූලික රෝහලට සහ කිරින්ද ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කෙරුණි.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් තිදෙනෙකුම පසුව ජීවිතක්ෂයට පත්වුණි.

මෙලෙස මිය ගොස් තිබුණේ එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙකි.

ඒ , හැටන් හී පදිංචි 38 හැවිරිදි නුවන් ජයසූරිය, 04 හැවිරිදි නදීෂා ජයසූරිය සහ 06 හැවිරිදි සහලා ජයසූරිය යන අයයි.

දැරියන්ගේ මව වන 33 හැවිරිදි හෂිනි ප්‍රේමසූරිය බරපතළ තත්වයෙන් පසු වූ හෙයින් තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කෙරුණත් එහි දැඩි සත්කාර ඒකකයක් නොතිබිම නිසා පසුව ඇයව හම්බන්තොට මූලික රෝහලට ඇතුළත්කිරීමට තීරණය කර ඇත.

එහෙත් අවාසනාවට හම්බන්තොට මූලික රෝහලේද රෝගීන් පිරී පැවතීම නිසා රෝහල් පාලනාධිකාරිය තීරණය කළේ ඇයව අම්පාර මහ රෝහල වෙත මාරු කර යැවීමටයි.

ඒ අනුව රෝහලේ පැය හතරක පමණ කාලයක් ගත කළ පසුවත්, තවත් පැය කිහිපයක් වැය කරමින් ඇයව අම්පාර මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගැනුණි.

බරපතළ තත්වයෙන් පසුවූ මව රැගත් ගිලන් රථය අම්පාර මහ රෝහල වෙත රැගෙන එනු ලබන්නේ සවස 2.45ට පමණය.

මිය ගිය තිදෙනාගේ මළ සිරුරු මේ වන විට තිස්සමහාරාම සහ කිරින්ද රෝහල් වල තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඥාතීන්ට බාරදීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.