ලංකාව සිංහල බෞද්ධ රටක්ද.. අනෙක් ජාතීන් කල්ලතෝනිද..- චම්පික

දැන් මේ රටේ විවාදයක් ඇතිවෙලා තිබෙනවා සිංහල බෞද්ධ රටක්ද කියල. මේ රටේ ශිෂ්ඨාචාරය අනුව සිංහල භාෂාව පැවතුණේ අවුරුදු තුන් දහසකට කලින් බව ලිඛිතව තිබෙනවා. අවුරුදු දෙදහසකට කලින් තමයි ලොකයේ උසම ගොඩනැගිලි හැදුවේ. රුවන්මැලි සෑය ආදිය හැදුවේ. සිංහල බෞද්ධ අපට ඒ උරුමය තිබෙනවා යැයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන පාඨලී චම්පික රණවක මහතා බළපිටියේදී ප්‍රකාශ කළේය.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා පින්කම නිමිත්තෙන් බළපිටිය වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරස්ථානයේ දී පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කීය.

අමරපුර සිරි සද්ධම්මවංස මහ නිකායේ මහනායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී ඇමැතිවරයා මෙසේද කීය.

නිරිත දිග කලාපයේ කොළඹ නගරයෙන් පහළට පානදුර, කොස්ගොඩ, අහුන්ගල්ල, බළපිටිය සිට මාතර දක්වා කලාපයේ බටහිර පාලන කාලයේ විශාල වශයෙන් නවීකරණය වූ කලාපයක්. අමරපුර සම්ප්‍රදාය රාමඤ්ඤ සම්ප්‍රදාය අනුව නාගරීකරණය වුණා. විදේශ වලට විවෘත වුණා. දැන උගත් අය බිහි වුණා. මොන තත්ත්වයක් යටතේ වුවත් බටහිරට නතු වුණේ නැහැ. ඒ පිළිබඳව භික්ෂූන් වහන්සේලාට ගරු කළ යුතුයි. බටහිර ජාතීන් නතු කර ගත් රටවල් වල තිබූ ජාති ආගම් විනාශ වෙලා ගියා. ලංකාවේ ඒ සාධනය නතර කර ගැනීම ගැන අමරපුර නිකායට සුවිශේෂි සුථානයක් හිමිවෙනවා.

දැන් මේ රටේ විවාදයක් ඇති වෙලා තිබෙනවා මේ සිංහල බෞද්ධ රටක්ද කියල. එහෙමනම් අනෙක් ජාතීන් කල්ලතෝනිද. මේ රට මොකක්ද කියල වටහා ගත යුතුයි. ඕනම ජාතියක කුලයක අයට මේ රටේ පදිංවි වෙන්න පුඵවන්. සංවිධාන වෙන්න ඡන්දය දෙන්න, ඡන්දය ඉල්ලන්න අයිතිය තිබෙනවා. මේ රටේ ශිෂ්ඨාචාරය අනුව බලනවිට සිංහල භාෂාව අවුරුදු තුන්දහසකට කලිනුත් පැවතිලා තිබෙනවා. මේ බස තිබූ බව අනුරාධපුරයේ කරන ලද කැණීම් වලින් ලිඛිත සාක්ෂි හමු වී තිබෙනවා. මෙ බස මේ රටේ විතරක් පවතින බසක්. මේ බස කතා කරන ජනතාවයි මේ රටේ ශිෂ්ඨාචාරය හැදුවේ. ඒක තමයි ඇත්ත. අනෙක් භාෂාවන් සියල්ලම පිට රටින් ඇවිත් තිබෙන්නේ. මහාවංශය, බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී පරිවර්ථනය කළාට පසුවයි අසෝක රජු ඉන්දියාවේ සිටි බව දැන ගත්තේ.

මේ රටේ භික්ෂු වංශය අනුරාධපුරයෙන් ආරම්භ වුණේ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරල ලෝකයටම දුන්නේ අපියි. අන්‍ය ආගම් වගේ නොව බුද්ධාගම පතුරවන්න අනෙක් අය ඝාතනය කළේ නැහැ. ප්‍රචණ්ඩත්වය බලහත්කාර කම් පැතුරුවේ නැහැ. සූත්‍ර පිඨක වල කිසිම තැනක සඳහන් වෙලා නැහැ අන්‍ය ආගමිකයන් ඝාතනය කරන්න කියල. අවුරුදු දෙදහසකට කලින් අපේ රටේ ලොකුම ගොඩනැගිලි, රුවන්මැලි සෑය ආදිය ඉදි කළේ සිංහල බෞද්ධයෝ. ඒ උරුමය අපට තිබෙනවා.

යම් යම් දේවල් බටහිර රටවලට ගිහින් ගෙනැවිත් ඩෙනිම් කලිසම්, ටී ෂර්ට් ඇන්දට අව් කණ්නාඩි දැම්මට ඩෙක් ෂූස් දැම්මට ලිබරල්වාදී වෙනව කියල හිතන කට්ටිය නවීනත්වය කොහොමද ඔප්පු කර තිබෙන්නේ. මේ රටේ බුද්ධාගම තිබෙන නිසයි අන්‍ය ආගම් පවතින්නේ. මෝගල්වරු ඉන්දියාව නතු කර ගත් පසු හින්දු ආගම විනාශ කළා. අරාබි වෙළෙන්දෝ බේරුවලින් මන්නාරමෙන් පළවා හරින්න පෘතුගීසීන් කටයුතු කරද්දී අපේ රජවරු බේර ගත්තේ. සෙනරත් රජ්ජුරුවෝ ඒ සේවය කළේ. ලන්දේසීන් කතෝලික ආගම විනාශ කරද්දී ජුසේ වාස් පියතුමාට රැකවරණය දුන්නේ අපේ රජවරු. සාමයට සහජීවනයට හානි කරන බලවේග ඇවිත් තිබෙනවා. බෞද්ධයෝ ඉවසිලිවන්තව සාමකාමීව ධර්මානුකූලව ඒ බල වේග පරාජය කළ යුතුයි.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහ නායක අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහනාහිමි, ලේඛකාධිකාරී බළපිටියේ සිරි සීවලී හිමි යන ස්වාමින් වහන්සේලාද මෙහිදී කතා කළහ.

– ජයකාන්ත ලියනගේ

Leave A Reply

Your email address will not be published.