‘පාස්කු බෝම්බ ප්‍රහාරයේ තොරතුරු ලංකාවේ ආණ්ඩුව විසින් සඟවනවා..’ අගරදගුරු වතිකානුවේදී හැගීම්බරව කියයි..
ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු සඟවමින් සිටින බවත් කිසිවකුත් වගකීම් සහගත ලෙස ක්‍රියා නොකරන බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රෝමයේ දී පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ හමුවීමට පෙර එරට මාධ්‍යවේදීන් අමතමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ බව පවසා ඇත.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇතැයි ලැබුණු බුද්ධි තොරතුරු වාර්තා නොසළකා හැරියේ ඇයිද යන්න සම්බන්ධයෙන් සෙවීමට කිසිදු උනන්දුවක් කිසිවකුටත් නැතැයි ද කාදිනල් හිමිපාණන් පවසා ඇත.
“ආණ්ඩුව කිසිදු වගකීමක් ගන්නේ නැහැ. එය බරපතළ තත්ත්වයක්. දැන් විවිධ කමිටු කොමිසම් පත් කරලා. එකිනෙකාට චෝදනා එල්ල කරගන්නවා. කවුද වගකියන්න ඕනේ කියලා ඔබ දන්නවා” කාදිනල් හිමිපාණෝ කීහ.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වන බවට ඉන්දීය බුද්ධි අංශ මුලින්ම දැනුම් දුන්නේ අප්‍රේල් 4 වැනිදා . ඉන්පසුව අවස්ථා කිහිපයකදීත් ප්‍රහාර එල්ල වූ දිනයේ උදෑසන 6.45 ටත් දුරකතන ඇමතුමක් දෙමින් එම තොරතුරු ලබා දී ඇති බවත් කාදිනල් හිමිපාණන් පවසා ඇත.
“කවුරුවත් ඒ ගැන හිතුවේ නැහැ. සැළකිල්ලට ගත්තේ නැහැ. මේ ව්‍යවසනය වළක්වා ගන්න තිබ්බා. මට මේ තොරතුරු කලින් ලැබුණා නම් මම පල්ලි වහල දාලා මිනිස්සුන්ට ගෙදර යන්න කියනවා” යැයි කාදිනල් හිමිපාණෝ පැවැසූහ.
“හැමෝම අනෙක් අයට බනිනවා. තොරතුරු සඟවන්න උත්සහායක් තියෙනවා. ජනාධිපතිවරයාගේ වරදකාරී බවත් ප්‍රශ්නකාරීයි. ඒ නිසා ඔවුන් මෙය සඟවන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ උනන්දුවක් නැති බව පෙනේනේ. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන අනෙකුත් ආයතනවලටත් මේ ගැන හොයන්න උනන්දුවක් නෑ වගේ” යැයි කාදිනල් හිමිපාණෝ කීහ.
මේ අතර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට බෝම්බ ප්‍රහාරවලට පෙර සහ පසු සිදුවීම් දැක්වෙන වීඩියෝ පටයක් ද එහිදි පෙන්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
– lankadeepa