තනතුරු අත්හැරියත් කඳවුර අත්හරින්නේ නෑ-රාජිත

තමන් තනතුරු අත්හැරියත් කඳවුර අත් නොහරින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන දුම්වැටි ආනයනය කිරිමට තමන් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සිටින තුරු ඉඩ ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමු වල දී පළකළ අදහස් පිළිබදව කරුණු සදහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

තමන් දැනට සිටින කදවුරේ සිට ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන බවත්, ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

එම මැතිවරණ ජයගනිමින් තමන්ට චෝදනා නගන පුද්ගලයින්ට නිසි පාඩමක් උගන්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නංවාලීම සදහා අළුත්ගම දර්ගා නගරයේ රජයේ රෝහලේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යටතේ දර්ගා නගරයේ රජයේ රෝහලේ ද ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයක් ස්ථාපිත කරන අතර, එහි ප්‍රථම රෝගියා ලියාපදිංචි කිරීම ද සිදු කෙරුනේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතිනි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ බේරුවල ප්‍රධාන සංවිධායක ඉෂ්ඨිකාර් ජමීල්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු වෛද්‍යවරුන්, ගම්වාසීන් එක්ව සිටියහ.

 

Leave A Reply

Your email address will not be published.