ලලිත් රත්නායකගේ කුළුඳුල් චිත්‍රපටය ෂැන්හයි අන්තර්ජාතික සිනමා උළෙලේ දී සම්මාන ද්විත්වයකට නිර්දේශ වෙයි…

ලෝකයේ සුප්‍රසිද්ධ ‘ඒ’ ශ්‍රේණියේ සිනමා උළෙලක් වන චීනයේ ෂැන්හයි අන්තර්ජාතික සිනමා උළෙලේ ‘ඒසියා නිව් ටැලන්ට් අවෝඩ්’ සිනමා සම්මාන සඳහා හොඳම නළුවා සහ හොඳම තිරරචනය සම්මාන ද්විත්වයට ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වන “විෂම භාග” චිත්‍රපටය (The Other Half) නිර්දේශ වී තිබේ.

ශ්‍රී ලාංකීය සිනමා කෘතියක් ආසියාවේ විශාලතම සිනමා උළෙලක් වන මෙම සිනමා උළෙලේ දී මෙසේ ඇගයීමකට ලක්වන්නේ ප්‍රථම වතාවටය.

ළමා මනස පිළිබඳ කතා කෙරෙන මෙම චිත්‍රපටය, වැඩිහිටියන්ගේ එක් වචනයකින් පුංචි ළමා මනස කෙතරම් සෙලවිය හැකිදැයි අවබෝධ කරවයි.

ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට නියමිතව ඇති “විෂම භාග” ජූනි මස 15 සිට 24 දින දක්වා පැවැත්වෙන 22වන ෂැන්හායි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ලෝකයේ සිව්දෙසින් ඉදිරිපත් වූ විශිෂ්ඨ සිනමා කෘති අතර තරඟකාරීව ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබයි.

කෘෂි රසායනයන්ගෙන් අපවිත්‍ර වූ ජල පරිහරණයෙන් වැළඳෙන මාරාන්තික වකුගඩු රෝගයෙන් වෙලාගත් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානයක් පසුබිම් වූ මෙම සිනමා පටයෙන් ලැබෙන ලාභය වකුගඩු රෝගයෙන් වෙලාගන්නා ගම්මාන ඉන් ගලවා ගැනීම පිණිස පානීය ජල පිරිපහදු මධ්‍යස්ථාන තනවමින් ක්‍රියාත්මක වන ‘පිවිතුරු පැන් පූජා’ පුණ්‍ය ව්‍යාපෘතිය සඳහා යෙදවෙන බව චිත්‍රපටයේ නිෂ්පාදක ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි පැවසූහ.

විෂම භාග චිත්‍රපටය සම්මානනීය කලාකරු ලලිත් රත්නායක විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කර තිබේ. මෙය ඔහුගේ කුළුඳුල් චිත්‍රපටයයි.

Leave A Reply

Your email address will not be published.