තමා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඉන්න තෙක් කිසිදු ආකාරයකින් විදෙස් දුම්වැටි ගෙන්වීමට අවස්ථාවක් ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අද(17) දිනට යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය වෙනුවෙන් වු උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙරටට ගෙන එන නීති විරෝධි සිගරට් මේ වන විට වැඩි වී ඇති බව ද පැවසු අමාත්‍යවරයා, සමහර සිගරට් තොග මෙරටට ගෙන්වන්නේ ද දුම්කොළ කර්මානතය විසින්ම බව ද පැවසීය.
පසුව ඔවුන්ම රේගුවට ඔත්තුවක් ලබා දී එය අල්ලා විශාල ප්‍රචාරයක් ලබා ගන්නා බවත්, ඒ තුළින් ලංකාව තුළ සිගරට් මිල අධික බැවින් පිටරටින් හොර සිගරට් ගෙන එන බවට චිත්‍රයක් මවා පාන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර චීන සිගරට් අද වන විට අලුත්ම තර්ජනය වී ඇති බව ද පැවසු අමාත්‍යවරයා, “අලි මදිවට හරක්“ ලෙස පවසමින් කියා සිටියේ, ලංකාවේ ඇති සිගරට් වෙනුවෙට දැන් චීනයෙන් ගෙන්වන සිගරට් ගැනත් සොයා බැලීමට සිදුව ඇති බවයි.
ලංකාවේ ලියාපදිංචි වි ඇත්තේ චීන සේවකයින් 6000 ක් පමණක් බවත් පැවසු අමාත්‍යවරයා, ඉන්දියානුවන් 10000 ක් පමණ සිටින නිසා ඔවුන් ද ඉන්දියන් සිගරට් අවශ්‍ය බව පැවසිය හැකි බවත්, රුසියානු නිලධාරීන් එක් එක් ව්‍යාපෘතිවල සිටින බැවින් ඔවුන් ද වෙනත් සිගරට් ඉල්ලිය හැකි බව ද පැවසීය.
එසේ වුවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාවට ලබා දුන් සියලු හොඳ නැති වී යන බව ද පැවසු අමාත්‍යවරයා, තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටින කාලයේ දී කිසිදු විදෙස් දුම්වැටියක් ගෙන්වීමට ඉඩක් නොමැති බව ද කියා සිටියේය.
නීති විරෝධි සිගරට් මෙරටට ගෙන්වනවා නම් එය අත්අඩංගුවට ගැනීම රේගුව සතු කාර්යයක් බවත්, මත්පැන් පාලනයට ගිය විට කසිප්පු වැඩි වෙනවා නම් එය පාලනයට පොලීසිය සිටින බව ද පැවසු අමාත්‍යවරයා, මත්පැන් කර්මාන්තයට සම්බන්ධ අයම මේ සඳහාත් සම්බන්ධ වන බව ද පැවසීය.
https://youtu.be/lwfpRQTvP8U?t=14