විල්පත්තුව යළිත් විනාශයි .. පරිවාර වනාන්තරවල රාජ්‍ය අනුග්‍රහයෙන් මහා වන සංහාරයක්.. Video දර්ශන මෙන්න

විල්පත්තු මහා වනයේ පරිවාර වනාන්තරවල පුත්තලමේ ස්ථිර නිවාස හිමි පුද්ගලයන්ට, රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශීය ලේකම්වරුන් රාජ්‍ය බලය යොදා ගනිමින් ‘ව්‍යාජ නිවාස ගම්මාන’ හදා දෙන තත්වයක් තුළ ජනාධිපතිවරයා ‘වඩු මඩු’ තහනම් කරමින් මේ රටේ වනගහනය ආරක්‍ෂා කිරීමට යාම ‘අතීසාරයට අමුඩ ගැසීමක්’ වැනි දෙයක් යැයි ජානිපෙ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයෙහි කල්ලාරු පරිවාර රක්‍ෂිතයේ ඉදිවෙමින් පවතින නිවාස යෝජනා ක්‍රමය නිරීක්‍ෂණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.

“2015 මුල් භාගයේදී ජනාධිපතිවරයා, උතුරු – නැගෙනහිර වනාන්තර එළිපෙහෙළි කරමින් නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හෝ වෙනත් කටයුත්තක් කිරීම තහනම් කළාය කීවාට පසුව ආරම්භ කළ නිවාස යෝජනා ක්‍රමයක් තමයි මේ අපගේ නිරීක්‍ෂණයට ලක් වන්නේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තමයි මේ විල්පත්තු වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන කල්ලාරු රක්‍ෂිතයේ ඉදි කෙරෙන මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා පූර්ණ අනුග්‍රහය සහ අනුබලය ලබා දෙන්නේ. ඒ වගේම මෙම නිවාස යෝජනා ක්‍රමයෙන් ඉඩම් ලබා දී ඇති පිරිසට තාවකාලික ඉදිකිරිම් සඳහා රිෂාඞ් බදියුදීන් හිටපු ඇමතිවරයා රුපියල් 50,000 බැගින් ලබා දී ඇති බව ද දැන ගැනීමට තිබෙනවා.

පුත්තලමේ හොඳින් ජීවත් වන, ස්ථිර නිවාස හිමි පුද්ගලයන්ටයි මේ ඊනියා නිවාස ගම්මාන හදන්නේ. මේවා ඇත්තෙන්ම ‘ව්‍යාජ ගම්මාන’ ලෙස හැඳින්විය හැකියි. මෙතැනදී සිදු වන්නේ නිවාස අහිමි පිරිසකට නිවාස ලබා දීමක් නොවෙයි. ඒකයි මා මේවා ‘ව්‍යාජ ගම්මාන’ ලෙස හැඳින්වූයේ. එක පැත්තකින් මෙතැන තිබෙන්නේ අන්තවාදී ආකාරයකින් ජනාවාසකරණය කිරීමක්. අනෙක් පැත්තෙන් මෙතැනදී දේශපාලන බලය යොදා ගනිමින් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට හිමි වනගහනය විනාශ කිරීමක් ද සිදු වෙනවා.

‘වන සංරක්ෂණ නිලධාරීන් නිවාඩු’

රිෂාඞ් බදියුදීන් හිටපු ඇමතිවරයාට, ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය ආකාරයට මේ වන සංහාරයට ඉඩ නොතබන ලෙස මේ රටේ යම් පරිසර බලධාරියකු සිටිනවා නම් අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා. අප එන බව දැනගෙන අද මෙතැන සිටිය යුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින සිංහල නිලධාරීන් සහ මුස්ලිම් නොවන නිලධාරීන් සියලු දෙනාම නිවාඩු ගිහින්. ඔවුන් එසේ නිවාඩු දමා ඇත්තේ අපි කරන මේ ප්‍රශ්න කිරීම්වලදී සත්‍ය හෙළි වෙයි කියලයි. අපට මහජන නියෝජිතයන් ලෙස විශේෂයෙන් රජයේ දේපළවලට සිදු වන විනාශයන් ගැන සොයා බැලීමේ අයිතිය තිබෙනවා. මේ සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා ද වගකිව යුතුයි. මෙතැන හංගන්න දෙයක් නැතිනම් ඇයි මේ නිලධාරීන්ට මෙහෙම නිවාඩු ලබා දෙන්නේ? පහළ මට්ටමේ නිලධාරීන් අත යම් ‘කඩදාසි කිහිපයක්’ එවලා මේ ප්‍රශ්නය වෙන පැත්තකට යවන්නයි වගකිව යුතු නිලධාරීන් හා බලධාරීන් කටයුතු කරන්නේ.

‘ප්‍රශ්නය තිබෙන්නේ වඩු මඩුවේ නොවෙයි’

අපි මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්නය ජනතාව අතරට ගෙන යනවා. මෙවැනි, මේ රටේ ජනතාව සතු අනගිතම පොදු දේපළක් විනාශ කිරීමට ඉඩ දී අපට නිහඬව සිටීමට බැහැ. එහෙනම් අපි ‘මනුෂ්‍යයන්’ වීමට බැහැ. ජනාධිපතිවරයා ඇවිත් මේවා නිරීක්‍ෂණය කරන්න ඕනෙ. ප්‍රශ්නය තිබෙන්නේ ලී මඩුවේ, වඩු මඩුවේ හෝ මිනී පෙට්ටි සාප්පුවේ නොවෙයි. මහා වනාන්තරවල පරිවාර වනාන්තර මේ විදියට විනාශ කරන නිසයි මේ රටේ වනගහනය අඩු වන්නේ. ඒ නිසා මේ වගේ ‘ව්‍යාජ නිවාස ගම්මානවලට’ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන අතරේ මේ රටේ වනගහනය රකින්න වඩු මඩු තහනම් කිරීම හරියට ‘අතීසාරයට අමුඩ ගහනවා’ වගේ වැඩක්”

එසේම භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අනුමැතිය ලබා ගෙන කල්ලාරු රක්ෂිතයට අයත් මරිච්චකට්ටි ප්‍රදේශයේ සිදු කරන මහා පස් ජාවාරමක් ද වීරවංශ මහතා නිරික්ෂණය කළේය. තවද මෙම රක්ෂිතය තුළ වන ව්‍යාජ ගම්මාන හෙවත් ස්ථිර පදිංචිකරුවන් නොමැති ‘ෂෙයික් ජාසිම්සිටි’ නිවාස ගම්මාන රැස නිරික්ෂණය කළ ජානිපෙ නායකවරයා පැවසුවේ, මේ මහා පරිසර විනාශය මෙන්ම ඊට සමගාමීව මෙම ප්‍රදේශය ‘පුංචි අරාබියක්’ බවට පත් කෙරෙන ක්‍රියාවලිය රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ඍජු මැදිහත් වීමෙන් හා ආශිර්වාදය ඇතිව සිදු කෙරෙන බව මෙම නිරීක්ෂණ චාරිකාවේදී තහවුරු වූ බව ය. මෙම තත්වය වෙනස් කිරීම සදහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අඛණ්ඩ අරගලයක් ගෙන යන බව ද වීරවංශ මහතා නිරික්ෂණය අවසානයේදී මාධ්‍ය වෙත අවධාරණය කළේය.

මෙම නිරික්ෂණ චාරිකාවට ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, පරිපාලන ලේකම් සමන්සිරි හේරත් ඇතුළු ජානිපෙ මහජන නියෝජිතයෝ පිරිසක් ද ප්‍රවීණ රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක, ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු කලාකරුවෝ පිරිසක් මෙන්ම විශේෂ මාධ්‍ය කණ්ඩායමක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Leave A Reply

Your email address will not be published.