රට සහ අනාගතය ගැන සිතමින් වැඩ කරන දේශපාලන නායකයෙක් නොමැති බව ප්‍රාදේශිය විශේෂ සංවර්ධන අමාත්‍ය වී.රාධාක්‍රිශ්නන් මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා නායකයෙකු වෙයි කියා මේ රටේ ජනතාවට බලාපොරොත්තුවක් ඇති බවත්,ඔහුට එම අවස්ථාව ලබා දෙයි කියා බලාපොරොත්තුවක් ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළෙිය.
මාධ්‍යවේදීන් හමුවේ ඊයේ (11) දින අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහෙදී තව දුරටත් අදහස් දක්වු අමාත්‍ය වී.රාධාක්‍රිශ්නන් මහතා,
“මේ රටේ නායකයන් බිහිවී නැතියි කියලා අපිට කියන්න බැහැ. මේ රට නායකයන් කීප දෙනෙකු පාලනය කරලා තියෙනවා. රට පාලනය කරපු ඒ සියළුම නායකයන් කටයුතු කරන්නේ තමන්ගේ පක්ෂය බලලයි.
අද ගත්තනම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයායි. වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයායි. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නවා. දෙමළ හා මුස්ලිම් පක්ෂවලත් නායකවරු ඉන්නවා. නමුත් ඒ හැමෝම කටයුතු කරලා තියෙන්නේ දේශපාලනය කරන්න තමයි.”
“රට ගැන හිතලා, අනාගතය ගැන හිතලා කොහොමද රට ගෙනියන්න ඕනෑ කියලා වැඩ කරන නායකයෙක් අපිට අද වෙනකල් නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේ නායකයෙකු අපිට අවශ්‍යයි.
අපිට කියන්න පුළුවන් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනතාවගේ දුක පිළිබඳව හොදට හොයලා, ඒ දුක හදුනගෙන ඒ මිනිස්සුන්ට වැඩ කරන්න කටයුතු කරපු ජනාධිපති කෙනෙක් කියලා. ඒ වගේ ජනාධිපතිවරයෙකු මේ රටට එන්න ඕනෑ යයි අපේ බලාපොරොත්තුව.
එතුමා ඒ කාලේ හොද වැඩ ගොඩක් සිදුකරා. සමහර වෙලාවට එයා නරක වැඩ කරා කියලා සමහර අය බැන්නා. නමුත් එතුමා හොද වැඩ රාශියක් සිදු කලා කියලා අපි පිළිගන්න ඕනෑ.”
“අනිවාර්යෙන්ම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ ඉදිරියට ගෙනියන්න ඕනැ. පාර්ලිමේන්තුව තමයි මේ රටේ උත්තරීතර ආයතනය වන්නේ. ඇත්ත කියන්න, ඇත්ත දැන ගන්න මේ තේරීම් කාරක සභාවෙන් අවස්ථාව දෙන්න ඕනෑ. ජනාධිපතිතුමා දැන් මේක ගැන කලකිරීමෙන් ඉන්නවා වගේ අපි දන්නවා.
නමුත් මේකෙන් අවස්ථාව දීලා මේකේ මොනවද වෙන්නේ කිලයා එතුමාත් දැන ගත යුතුයි. රටේ ජනතාවත් දැන ගත යුතුයි. මේක ජනතාවට දැන ගන්න විදිහට මාධ්‍යයට අවස්ථාව දීලා තියෙනවා.
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු මාධ්‍යායට දෙන්න එපා කියලා කතාවක් යනවා. ඒ වගේ දේවල්වල රහස්‍ය භාවය රැකලා අනෙකුත් කරුණු ජනතාවට දැන ගන්නඉඩ දිය යුතු යයිද” ඒ මහතා කීය.