ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට (12) දිනට යෙදී තිබේ.
මෙවර එහි තේමාව වන්නේ “ළමා ශ්‍රමය නිමා කරමු, නැවුම් සිහින සැබෑ කරමු” යන්නයි.
සෑම ජන සමාජයකම ජීවනාලිය බවට පත් වන්නේ ළමා පරපුරයි.
ඔවුනගේ අනාගතය ගොඩනැංවීමේ මූලික අඩිතාලම වන්නේ අනිවාර්ය අධ්‍යාපනයයි.
සෑම දරුවකුටම අනිවාර්ය පාසල් අධ්‍යාපනය ලැබීම අයිතියක් වන අතර ළමා ශ්‍රමිකත්වයෙන් තොරව ඔවුනගේ නැවුම් සිහින සැබෑ කිරීමට සමාජයේ සෑම දෙනාටම අත්හළ නොහැකි වගකීමක් ඇත.
මෙවර ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ළමා අපයෝජන හා විවිධ සමාජ, ආර්ථික, ගැටලු හේතුවෙන් වින්දිත, ආන්තික හා අනාරක්ෂිතභාවයට පත්වූ ළමයින්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම, ළමයින් ද්විතික වින්දිතභාවයට පත් වීම අවම කිරීම හා ළමයා පාසල් හැර යාමේ ප්‍රවණතාවන් අවම කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් දියත් කෙරේ.
මෙම වැඩසටහනේ සමාරම්භක වැඩසටහන 2019.06.05 වන දින මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පවත්වනු ලැබුවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ එච්.එම් අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදි මුලතිව් දිස්ත්‍රික්කයේ ළමයින් 70 සඳහා පාසල් බෑග්,පොත් ඇතුළු අධ්‍යාපනික උපකරණ බෙදාදීම සිදු කරනු ලැබූ අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, එහි සේවාවන්, ළමා අපයෝජන හා ඉන් ආරක්ෂා වීම, 1929 ළමා උපකාරක දුරකතන සේවය මෙන්ම ළමයින්ට අවශ්‍ය මනෝ සාමාජීය උපදේශනය ලබා දීම හා හා ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද අත්පත්‍රිකා බෙදා දීමද සිදු කරන ලදි.
1929 ශ්‍රි ලංකා ළමා උපකාරක දුරකතන සේවය වෙත වාර්ෂිකව පැමිණිලි 9000 අධික ප්‍රමාණයක් ලැබෙන අතර, ඉන් 1500 ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ රෙගුලාසි කඩවීම් සම්බන්ධ වේ.
ඒ අනුව එවැනි සිද්ධීන් අවම කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහනට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පැවැත්වීමටද අපේක්ෂිතය.
ළමා ශ්‍රමයට එරෙහි වී, ළමා ශ්‍රමය නිමා කිරීම සඳහා එවැනි සිදුවීම් පිළිබඳව දවසේ පැය 24 ක්‍රියාත්මක, ඇමතුම් ගාස්තු රහිත 1929 ශ්‍රි ලංකා ළමා උපකාරක දුරකතන සේවය අමතා දැනුම් දී ඔබේ වටිනා සහයෝගය දරුවන්ගේ හෙට දිනය වෙනුවෙන් ලබා දෙන මෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි .