මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිඳියාව ගැන කථා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා-මහින්ද

මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථාකර දෙමළෙන් ජාතිවාදය වපුරන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ දේශපාලනික පසු කම්පන යන නමින් විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“මුස්ලිම් ඇමති වරයෙකුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුවාම ආණ්ඩුවේ ඉන්න සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලල අස්වුණා.

ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොවෙයි.යූඑන්පී ආණ්ඩුව මේ අවස්ථාවේදී මුස්ලිම් දේශපාලනඥයෝ පෙල ගස්සගෙන ඉදිරියේ එන ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද ගෙඩිය පිටින් ලබාගන්න උත්සාහ කරන බවක් මෙයින් පේනවා.

ඕවා තමයි මේ ඔක්කොම අස්සෙ සිදුවෙන සෙල්ලම්.

සාමුහිකව ඉල්ලා අස්වීමෙන් විපක්ෂයේ විශ්වාසභංගයත් ආණ්ඩුව අහෝසි කර ගත්තා. වෙනත් ප්‍රශ්නත් අමතක කරවගන්නත් ආණ්ඩුව මේවා ඉවහල් කරගන්නවා.

දැන් බැඳුම්කර වංචාව ගැන මුකුත් කතා නෑ, රටේ ණය අර්බුධය ගැන කතා නෑ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තාමත් තුවාල කරුවන් ඉස්පිරිතාල වල ඉන්නවා, ඒගොල්ලනුත් අමතකයි.

අන්තවාදීන් ගැන මුකුත් කතාවක් නෑ. සෝදිසි කිරීමුත් නැවතිලා, ආයුධ හමුබවෙන්නෙත් නෑ. අත්අඩංගුවට ගත්ත ත්‍රස්තවාදී සැකකරුවන් ගැන ගන්න පියවර ගැනත් මුකුත් කතාවක් නෑ.

ඇතිවූ මේ උණුසුමත් එක්ක ආණ්ඩුව රටේ දේපොල විකුණන්නත් උත්සාහ කරනවා. එක ගලෙන් කුරුල්ලෝ සීයක් විතර මරලා.

යූඑන්පී එකට ඒ දක්ෂතාවය තියෙනවා. තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ඒගොල්ලො මේ රටේ මුස්ලිම් ප්‍රජාවත් හොදට ප්‍රයෝජනයට ගන්නවා. යූඑන්පී එකට මධ්‍යස්ථ මුස්ලිම් වගේම අන්තවාදී මුස්ලිම්වරුන්ගෙත් ඡන්ද අවශ්‍යයි.

ඡන්ද ලැබෙන්නෙ කාගෙන්ද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නොවෙයි. ඒ වගේම මුස්ලිම් නායකයන්ට තමන්ට හීලෑ කරගන්න පුළුවන් ආන්ඩුවක් අවශ්‍යයි. නමුත් මේ සුසංයෝගයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව අද මුහුණ දීලා තියෙන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නෙත් නෑ.

මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය වෙන්නේ ආගම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් තමන්ගෙ ජීවිත බේරා ගැනීමටයි.

මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අවශ්‍ය වෙන්නෙත් තම ප්‍රජාව තුළින් ත්‍රස්තවාදීන් ඉවත් කරගෙන සුපුරුදු දිවි පෙවෙතට නැවත අවතීර්ණ වීමයි.

අද වෙනකොට, අන්‍ය ආගමිකයන් ඝාතනය කරන මිලේච්ඡ ආගම්වාදී ත්‍රස්තවාදයක් බිහි වෙලයි තියෙන්නෙ.

බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සියලු ජනකොටස් තමන්ගේ ආරක්ෂාව සඳහා ඒ ත්‍රස්තවාදයට විරුද්ධව පෙළ ගැසමෙනුයි ඉන්නෙ.

මේ වෙලාවේ මධ්‍යස්ථ මතධාරී බහුතර මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට විරුද්ධව ඇතිවෙමින් පවතින ඒ එකතුවෙන් කොන් විය යුතු නෑ.

අන්තවාදී අදහස් රට තුළට ආපු නිසා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ක්‍රම ක්‍රමයෙන් සෙසු ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විහින්ම ඈත් වුණු බව මුස්ලිම් ආගමික නායකයන් වගේම බුද්ධිමතුනුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පස්සෙ ස්වයං විවේචනාත්මකව පිළිගත්තා.

අද ඉන්න මුස්ලිම් දේශපාලන නායකයෝ මුස්ලිම් ඡන්ද මත විතරක් රඳා පවතින නිසා ඒගොල්ලොන්ට ඒ ප්‍රජාව තුළ ඉන්න අන්තවාදීනුත් අවශ්‍යයි.

පසුගිය වකවානුව පුරාම මුස්ලිම් අන්තවාදය මේ රට තුළ වර්ධනය වුණේ ඒකට විරුද්ධ වෙන්න දේශපාලන නායකත්වයට බැරි වුණ, බිය වුන නිසයි.

මුස්ලිම් දේශපාලනඥයෝ සිංහලෙන් සංහිඳියාව ගැන කතා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා.

ලංකාවෙ මුස්ලිම් ප්‍රජාව තුළ අන්තවාදය ප්‍රචලිත වෙන එක අද ඊයෙ එකපාරට සිදුවෙච්ච දෙයක් නොවෙයි.

මේක අවුරුදු ගණනාවක් මුලුල්ලෙ වාද විවාද, තර්ජන, ගර්ජන, ගුටි බැට හුවමාරු, පල්ලි ගිනිබත් කිරීම්, ගෙවල් ගිනිබත් කිරීම්, මිනීමැරුම්, ඔක්කොමත් එක්ක සිද්ධ වෙච්ච ක්‍රියාදාමයක්.

ඒ සියල්ල සිදුවෙද්දිත් ලංකාවෙ මුස්ලිම් නායකයො තමන්ගෙ දේශපාලන පැවැත්ම සඳහා ඒ අන්තවාදීන්ටත් අනුග්‍රහය දක්වලා වැඩෙන්න ඉඩ දුන්න. පාස්කු ඉරිදා බෝම්බ පිපිරුනායින් පස්සෙ සමහර නායකයො කියන්න පටන් ගත්ත “අපි හිතුවෙ නෑ මෙච්චර දෙයක් සිද්ධවෙයි” කියල.

නමුත් දැන් අපි සිද්ද වෙලා තියෙන දේට විසඳුමක් හොයන්න ඕන. ත්‍රස්තවාදය මේ රටේ සෙසු ජන කොටස් කිසිසේත්ම ඉවසන්නෙ නෑ.

මේ ත්‍රස්තවාදය අපි මොන ක්‍රමයකින් හෝ විනාශ කළයුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය නිසා සිංහල පුද්ගලයන් අත්අඩංගුවට ගැනුන, සිංහල නිවාස හා පන්සල් සෝදිසි කෙරුණා.

කොටි ත්‍රස්තවදය නිසා දෙමළ පුද්ගලයන් අත්අඩංගුවට ගැණුනා. දෙමළ නිවාස හා කෝවිල් සෝදිසි කෙරුණා.

මුස්ලිම් ප්‍රජාව තුළින් මතුවෙන ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න නම්, අනිවාර්යමයෙන්ම මුස්ලිම් පුද්ගලයන් අත්අඩංගුවට ගන්න වෙනවා.

මුස්ලිම් ගෙවල්, ව්‍යාපාරික ස්ථාන, පල්ලි සෝදිසි කරන්න වෙනවා. ඒවා කරන්නෙ නැතුව ඔඩු දුවපු අන්තවාදයක් තුළින් මතුවුණු ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න පුලුවන් වෙයි කියලා කියන එක බොරුවක්.“

 

Leave A Reply

Your email address will not be published.