කැබිනට් මණ්ඩලය නැවත කැදවීම අත්හිටුවයි.. ඉදිරි කිසිදු රාජ්‍ය කටයුත්තකට ජනාධිපති නෑ..- හදිසි කැබිනට් මණ්ඩල හමුවේ විස්තරය මෙන්න..

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පහක් පවතිද්දී සහ ජනාධිපතිවරයා ලෙස තමන් ද ඉන් තුනක වගඋත්තරකාරැවකු කර තිබියදී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා කරුණු විමසීම, සාක්ෂි කැඳවීම නීති විරෝධී බව නීතිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ඔහු එසේ සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ කැඳවා ද විශේෂ හදිසි කැබිනට් මණ්ඩල හමුව අමතමිනි.

නීතිපතිවරයා විසින් තමන්ට මේ බව දැනුම් දුන් පසු ඒ පිළිබඳව කතානායක වරයා දැනුවත් කළ බවත් නමුත් කතා නායකවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර මෙම තේරීම් කාරක සභාව පවත්වාගෙන යන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එනිසා මෙම නීති විරෝධී කටයුත්ත දිගටම පවත්වා ගෙන ගියහොත් තමන් මින් ඉදිරියට කිසිදු අවස්ථාවක රාජ්‍ය මට්ටමේ කටයුත්තකට සහභාගී නොවන බවත් කැබිනට් මණ්ඩලයද නැවත නොකැදවන බවත් ජනාධිපතිවරයා දැඩිව සඳහන් කර තිබේ.

නමුත් ජනාධිපතිවරයා ලෙස දෛනික රාජකාරී වල තමන් යෙදෙන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

රාජකාරියේ නියුතු ආරක්ෂක අංශවල නිලධාරීන් ගෙනවිත් මෙම සිදුකරන විහිළු සහගත ක්‍රියාපටිපාටිය වහා නැවැත්විය යුතු බවත් එමෙන්ම ඉදිරියේදී කිසිදු අවස්ථාවක මෙම තේරීම් කාරක සභාව හමුවට සේවයේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන් ඉදිරිපත් නොකරන බවත් ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමන් භාර ගන්නා බවත් ජනාධීපතිවරයා ප්‍රකාශ කර ඇත.

උපුටා ගැනීම – lankacnews

Leave A Reply

Your email address will not be published.