සහරාන්ගේ කල්ලියෙන් වෙඩි කෑ මොහොමඩ් රාසික් ගේ හෙළිදරව්ව මෙන්න video

සහරාන්ගේ පාර්ශ්වයෙන් වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම් ප්‍රථම වරට අද දෙරණ සමඟ වීඩියෝ තාක්ෂණ ඔස්සේ සාකච්ඡාවකට එක්වී තිබුණා.

මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු පළමු වතාවට හෙළි කළ තස්ලීම් අන්තවාදයට එරෙහිව තමා ක්‍රියා කළ ආකාරය මාධ්‍යයට හෙළි කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

අන්තවාදීන් විසින්, මාවනැල්ල ලිඳුලවත්ත ප්‍රෙද්ශයේ බුදු පිළිම විනාශ කරන්නේ 2018 දෙසැම්බර් මස 26 වැනිදායි.

අදාළ සැකකරුවන් පිළිබද පළමුව තොරතුරු අනාවරණ කරන්නේ, තස්ලිම් විසිනි.

කෙසේ වෙතත් පසුව කරන ලද පරීක්ෂණවලදී තස්ලිම් විසින් අනාවරණ කරන ලද බුදු පිළිම විනාශ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනි.

අන්තවාදීන් පිළිබද වැදගත් තොරතුරු රැසක් හෙළි කළ තිදරු පියෙකු වූ තස්ලීම් සැකකරුවන්ගේ ඉලක්කයක් බවට පත් වුණි.

2019 මාර්තු 05 වැනිදා මාවනැල්ල දනාගම පිහිටි නිවසට එන අන්තවාදීන් නිදා සිටි තස්ලීම්ගේ හිසට වෙඩි තබා පලා යයි.

තමා ලබා දුන් තොරතුරු වලට අනුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූයේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට හැකි ව තිබූ බව මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම්ගේ අදහසයි.

“මගේ ඇමතිතුමාට කිව්වා. එයා කිව්වා ඒක මට කියලා වැඩක් නැහැ ආරක්ෂක අංශවලට කියන්න කියලා.

දවසින් දවස එක එක්කෙනා අත්අඩංගුවට ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ හැමෝගේම කටඋත්තරවල තමයි සම්බන්ධ වුණේ සාදික් සහා ෂාහිඩ් කියන දෙපළ.

ඒ කට්ටියගේ මෙහෙයවීමෙන් තමයි මේක කළේ කියලා සඳහන් වුණා. ඊට පස්සේ මම හොයාගත්තා සහරාන් මේකේ පිටිපස්සේ ඉන්නවා කියලා.

සහරාන් හෂීම් ගැන මුලින්ම දැනගත්තේ පෙබරවාරි 20 වගේ.

බුදුපිළිම කැඩුව කට්ටිය අත්අඩංගුවට ගත්තාම ඒ අය අතරේ අදුරන අය හිටියා. මම ඒ අයගෙන්ම ඇහුවා ඇයි බං මෙහෙම කරන්නේ කියලා.

මම සාදික්ගෙන් ඒ ගැන ඇහුවා. එතකොට සාදික් කිව්වා ඔයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නකෝ කියලා.

බුදු පිළිම කඩපු සිද්ධියට මේ ෂාහිඩ් සහා සාදික් කියන දෙන්නා සම්බන්ධයි කියලා ඔත්තුව දුන්නේ පෙබරවාරි මාසයේ.

ඒ ගැන අර කොළඹින් ආපු සෙට් එකට කිව්වා.

ගෙදරට ඇවිල්ලා මගේ ඔලුවට තිබ්බේ. මට එච්චර ගණන් ගියේ නැහැ. මට සිහිය ආවායින් පස්සේ තමයි දැනගන්න ලැබුණේ මට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා කියලා.

ඔත්තුව දුන්නට පස්සේ පොලිසිය හරියට ක්‍රියාත්මක වුණේ නෑ. එහෙම ක්‍රියාත්මක වෙලා තිබුණා නම් ඔය 21 වැනිදා ප්‍රහාරයත් වළක්වන්න තිබ්බා” ඔහු පැවසීය.

උපුටා ගැනීම – අද දෙරණ

Leave A Reply

Your email address will not be published.