ධුරවලින් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන්ට එල්ල වී ඇති චෝදනා සනාථ නොවුණහොත් යළි මාසයක කාලයකින් ඔවුන් ධුරවල දිවුරුම් දීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.
අද(04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
මේ වන විට හොඳ අවස්ථාවක් උදාවී ඇති බවත්, කැබිනට් මණ්ඩලය විසින් අද දිනයේ දී මේ සම්බන්ධයෙන් කථා කළ බවත් පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කිරීමට මේ වන විට ජනතාවට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇති බව ද කියා සිටියේය.
රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන අය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති බව ද පැවසීය.
චෝදනා නැති අය සිටී නම් ඒ අය නැවත වතාවක් කැබිනට් මණ්ඩලයේ මැති ඇමතිවරු ලෙස දිවුරුම් දෙනු ඇති බව ද නලීන් බණ්ඩාර මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.