පොලිස් අත්අඩංගුවේ පසුවන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ දඹුල්ල මහ රෝහලට අද වන විට පැමිණිලි 601ක් ලැබී ඇත.
එමෙන්ම වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුවේ අතුරු වාර්තාව හෙට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට බාර දීමට නියමිතයි.
මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු යළි පිළිසිඳ ගැනීමක් සිදුනොවු බව පවසමින් අදත් මව්වරු 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි කළේය.
මේ වන විට වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 486 කි.
මේ අතර මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අද මව්වරු 08 දෙනෙකු දඹුල්ල මහ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය.
එම රෝහලට වෛද්‍ය ෂාෆිට එරෙහිව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 65 කි.
වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි ඉදිරිපත් කිරීමට තවදුරටත් අවස්ථාව පවතින බව කුරුණෑගල ශික්ෂණ රෝහල පවසයි.
ඒ පිළිබඳ විමර්ශන ඉදිරි සතිවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ආරම්භ කරන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේය.
වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුවේ අතුරු වාර්තාව හෙට (3) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට භාර දෙන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේය.
මේ අතර වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ කමිටුව අහෝසිකර ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කරන්නැයි ඉල්ලා අද පෙරවරුවේ අම්බලන්ගොඩ තෙල්වත්ත ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වුණි.
එම අවස්ථාවට සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලකයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියේය.
මේ අතර මාවනැල්ල ප්‍රදේශයේ ද මෙවන් සිද්ධියක් සිදුව ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අද කියා සිටියේය.