ලංකාව බෞද්ධ රටක් නොවේ කියන්නේ ඉතිහාසය නොදන්නා අය

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ද නැද්ද යන්න පිලිබඳ ප්‍රකාශ නිකුත් කරන්නේ ඉතිහාසය නොදන්නා අය බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බවත් වත්මන් රජය බෞද්ධාගම ආරක්ෂා කරන රජයක් බවත් ඒ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) මහනුවර බෝගම්බර බෝධිමළු විහාරයේ ගිලන් භික්ෂු නේවාසිකාරාම මධ්‍යස්ථානයේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ද ඇතුළුව රුපියල් මිලියන 10කට අධික පිරිවැයකින් මෙම නේවාසිකාරාමයේ ඉදිකිරිම් කටයුතු සිදුවේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අපේ රට අවුරුදු 400ක් යුරෝපීය ජාතීන් 03ක් පාලනය කළා. ඒ කාල වකවානුවේ අපේ ශාසනය විනාශ කරන්න නොයෙක් උත්සාහ ගත්තත් බුද්ධ ශාසනය ආරක්ෂා වුණා ගරුතර මහා සංඝරත්නය නිසා. අද සමහරු මතයක් ඇතිකරගෙන යනවා බෞද්ධාගම විනාශ වෙනවා කියලා.

අවුරුදු 400ක් යුරෝපීය ජාතිකයන් පාලනය කළ අපේ රටේ බෞද්ධාගම රැකුණානම් දැන් බෞද්ධ ආණ්ඩුවක් බෞද්ධ රාජ්‍ය්‍යක් තියෙද්දි බෞද්ධ ආගම විනාශ කරන්න පුළුවන්ද?

කුමන පක්ෂ බලයේ සිටියත් බෞද්ධාගම ආරක්ෂා කරන්න කටයුතු කරලා තිබෙනවා. පසුගිය ආණ්ඩු මෙන්ම අපේ ආණ්ඩුවත් ශාසනය ආරක්ෂා කරන්න නිරතුරුව කටයුතු කරනවා.

අද සමහරු විවිධ මත ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකාව බෞද්ධ රටක්ද නැද්ද කියන එක ගැන. කණගාටුවෙන් වුණත් කියන්න ඕන මෙවැනි ප්‍රකාශ කරන්නේ අපේ රටේ ඉතිහාසය ගැන නොදන්න අය.

බෞද්ධාගමට තිබෙන ලැදියාව තමා වැදගත්. එය ආරක්ෂා කරන්න අපේ රජයත් කැප වෙනවා. අපේ රට බෞද්ධ රටක්. අපේ රජය බෞද්ධාගම ආරක්ෂා කරන රජයක්.
සිංහල බෞද්ධ ආණ්ඩුවක් තිබෙන අවස්ථාවක කවදාවත් බෞද්ධාගම, ශාසනය විනාශ වෙන්නේ නැහැ.

මම මහාමාර්ග අමාත්‍ය ධුරය දරන කාලයේ 250කට අධික විහාරස්ථානවල පිවිසුම් මාර්ග සංවර්ධනය කිරිමේ හැකියාව ලැබුණා. ඒ වගේම අද ඉදි කිරීම් ආරම්භවන ගිලන් භික්ෂු නේවාසිකාරාම මධ්‍යස්ථානය ඉතාම අත්‍යවශ්‍ය කටයුත්තක් වගේම මටත් වාසනාව ලැබුණා මේ සඳහා දායක වන්නට.”

 

Leave A Reply

Your email address will not be published.