ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හානි කරන ඕනෑම විදෙස් ගිවිසුමකට තමන් දැඩි ලෙස විරුද්ධ බව අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් සහ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කර ඇත.
මහනුවර අස්ගිරි මහා විහාරයේදී අතිපුජ්‍ය අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේ සහ උභයමහා විහාරීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමියන් ඇතුළු කතෝලික පියතුමන්ලාගේ මූලිකත්වයෙන් මෙම තීරණයට එළඹ තිබේ.
අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (31) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මිහියන් ඇතුලු අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව මුණ ගැසුණි.
එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපුජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් සහ දිඹුල් කුඹුරේ ශ්‍රී විමල ධම්ම හිමියන් ද එක්ව සිටියේය.
එම සාකච්ඡාවේදී ඔවුන් විසින් මෙම තීරණය ගෙන ඇති අතර රජය මඟින් විදේශීය රටවල් හා සංවිධාන මෙන්ම ආයතන සමඟ රටේ ස්වාධීනත්වයට බලපාන යම් යම් ගිවිසුම්වලට එළඹෙන්නේනම් පොදු මහජන මතය විමසා එය කළ යුතු බව එහිදී තීරණය කොට ඇත.
රට පත්ව ඇති ව්‍යාකූල තත්ත්වය තුළ ගිවිසුම්වලට එළඹීමෙන් රට වඩාත් අස්ථාවර භාවයට පත් නොකොට රටතුළ තිරසාර සාමයක් ඇති කිරීම පිණිස ආගමික අන්තවාදී සංවිධාන තහනම් කරමින් රටේ පොදු නීතියක් ස්ථාපිත කිරිමට කටයුතු කිරීම මේ මොහොතේ වගකීම බවද ඔවුන් අවධාරණය කර ඇත.