ග්‍රෑන්ඩ්පාස්වල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අල්ලයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වෙහෙරගොඩැල්ල කම්බිකොටුව ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් මත පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(21) රාත්‍රී 10.50 ට පමණ මෙය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම ඝාතනය ත්‍රීරෝද රථයක් විකිණීම සම්බන්ධයෙන් ඇති වු බහින් බස්වීමක් දුර දිග යෑමෙන් සිදුවී ඇති බවට සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙහි ප්‍රධාන සැකකරු වන ටෙනී ක්ලාස් යන අය කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ සිටිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැනට පොලිස් ආරක්ෂාව යටතේ ඔහු ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කරයි.

ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 46 ක් වු ඔරුගොඩපුර, වෙහෙරගොඩැල්ල, වැල්ලම්පිටිය යන ලිපිනයේ පදිංචි සුගත් ඉන්ද්‍රජිත් යන අයෙක් බව පොලීසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave A Reply

Your email address will not be published.