වෙසක් උත්සවය නිමිති කරගෙන පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රදානත්වයෙන් වෙසක් පහන් කූඩු බෙදා දීමේ වැඩසටහනක් පක්ෂයේ තරුණ අංශය වන විජයබා පරපුර විසින් සංවිධානය කර තිබුණි.
වැඩ සටහණින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ සදහා මන්ත්‍රිවරයා මෙසේ අදහස් දැක්වීය.
ත්‍රස්තවාදීන්ට වෙසක් උත්සවය අපෙන් උදුරා ගැනීමට ඉඩ දෙන්නට බැරි නිසා අද දින පිවිතුරු හෙළ උරුමයේ තරුණ අංශය විජයබා පරපුර වෙසක් කූඩු දන්සැලක් පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානය ඉදිරියේ සංවිධානය කළා.
ලෝකය පුරාම සාමය සතුට සමඟින් පින් සිතුවිලි බෙදන වෙසක් සමයේ අපේ ආදරණීය තරුණ තරුණියන්ගෙන් අප ඉල්ලීමක් කරණවා. ඔබේ ආවේගයත් වේදනාවත් අපට තේරෙනවා. හැබැයි එය ඔබ අවට සිටින අහිංසක මුස්ලිම් ජනතාව වෙත පතිත කර ආණ්ඩුවේත් ඇමෙරිකානු බලවේග වලත් අරමුණ ඉටු කරන්න එපා. මන්ද ඔවුන්ගේ අද අරමුණ වෙලා තියෙන්නේ රට ගිනි ගොඩක් ලේ විලක් බවට පත් කරන්න. එහි අවසාන ප්‍රථිපලය විදියට මැතිවරණ කල් දමන්නට, විදේශීය හමුදාවන් ගොඩබස්සවා ගැනීමට, අපේ රටේ මර් මස්ථාන විදේශිකයන් සතු කරන්නට. එනිසා මේ මොහොතේ කවුරුන් හෝ හැඟීම් බරව කටයුතු කරනවා නම් ඔවුන් සේවය කරන්නේ මවුබිමට එරෙහිවයි. ඔවුන් අතින් අපේ මවුබිමට සහරාන් එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයටත් වඩා වැඩි ප්‍රහාරයක් මේ මොහොතේ එල්ල කිරීමක් සිදුවෙනවා කියලා තේරුම් අරගෙන අපේ ආදරණීය තරුණ තරුණියන්ට ඉතාමත් ඉවසීමෙන් මේ වෙසක් සමයේ කටයුතු කරන්නයි අපි ඉල්ලා සිටිනවා.
ඒ වගේම අද හැමෝම අහන දෙයක් තමයි විශ්වාසභංග යෝජනාවට ඇයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අත්සන් කළේ නැත්තෙ කියලා. මීට පෙර ගෙනාපු විශ්වාස භංග යෝජනා වලදීත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අත්සන් කළේ නැහැ. රවී කරුණානායක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අත්සන තිබුණේ නැහැ.
එතුමා අපේ නායකයා. ඒ වගේම මේ රටේ විපක්ෂ නායකයා. ඒ නිසා එතුමාගේ අත්සන තැබිය යුත්තේ එතුමාගේ තනතුරට ගැලපෙන විශ්වාසභංග යෝජනාවක දී පමණයි. ජනාධිපතිවරයෙකුට එරෙහිව ගෙන එනු ලබන දෝශාභියෝගයක දී අගමැතිවරයකුට එරෙහි විශ්වාසභංග දී පමණයි අප මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අත්සන විශ්වාසභංග යෝජනාවට එකතු කරන්නේ. එතුමා අනිවාර්යෙන්ම විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳිලා එයට පක්ෂව ඡන්දය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
– අරවින්ද අතුකෝරල
lankacnews