සමාජ තත්ත්වයන් වෙනස් කරන්න කැපවෙන බව ජනපති කියයි

අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම වෙනුවෙන් අද (18) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ පැවැති උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයෙකු මෙවන් අවස්ථාවකට එක්වූ පළමු අවස්ථාව මෙය වන අතර, බන්ධනාගාර භූමියට ගොස් නිදහස ලබන රැඳවියන් ආමන්ත‍්‍රණය කළ ප‍්‍රථම අවස්ථාව ද මෙය යි.

එමෙන්ම බන්ධනාගාර රැදවියන්ගේ හඬට ඇහුම්කන් දීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26 දෙනෙකු අද දින නිදහස ලැබූ අතර තමා අතින් නිදහස්වීමේ ලිපි ලැබූ සියලූ රැඳවියන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළ ජනාධිපතිතුමා එම සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ අද ලබන මෙම නිදහස තම ජිවිතය අර්ථවත්ව ගත කිරීමට යොදා ගන්නා ලෙසයි.

අද දින නිදහස ලබාදෙන්නේ නැවත සිරගෙදරට එනු දැකීමට නොවන බව පැවසූ ජනාධිපතිවරයා අද දින නිදහස ලබන සියලුදෙනාට තම අනාගතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සෑම අත්වැලක්ම සැපයීමට ද තමා සුදනම් බව කියා සිටියේය.

ඒ අනුව අද දින නිදහස ලබන පිරිස අතරින් ස්වයං රැකියාවල නිරතවීමට කැමති පිරිස් හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ විමසා බලා ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

බන්ධනාගාර රැදවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම පිළිබඳ ජනාධිපතිවරයා නිරන්තරයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන අතර තමා ඝාතනයට කිරීමට පැමිණ, අධිකරණයෙන් වැරදිකරුවෙකු වී සිරගතව සිටි පුද්ගලයාට ද නිදහස ලබාදීමට එතුමා පසුගිය 2016 ජනවාරි 08 වනදා කටයුතු කළේය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තම අරමුණ සිරගෙවල් පිරිවීම නොව සියලු පුරවැසියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම මෙන්ම, රට තුළ අපරාධ වැඩවීමට හේතුවන සෑම සමාජ පසුබිමක්ම වෙනස් කිරීම බවයි.

බන්ධනාගාර රැුදවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීම ඇතුළු ඔවුන්ගේ දැනුම සහ ශ‍්‍රමය ඵලදායීව යෙදවීම පිළිබඳ රජය කි‍්‍රයාත්මක කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා බන්ධනාගාර රැඳවියෙකු ලෙස ගත කළ තම අතීත අත්දැකීම ද සිහිපත් කරමින් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ රැඳවියෙකු ලෙස ගතකරන සමය තම ජීවිතය ගොඩනඟා ගැනීම වෙනුවෙන් අධීෂ්ඨානශිලිව ගත කරමින් දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට උපයෝගි කර ගන්නා ලෙසයි.

නිදහස ලබන රැඳවියන් පස් දෙනකුට ස්වයං රැකියා උපකරණ කට්ටල පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

 

Leave A Reply

Your email address will not be published.