ප්‍රතිත්‍රස්ත පනතට සජිත් එරෙහි වෙයි Video

ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ප්‍රතිත්‍රස්ත පනතට හැකියාවක් නොමැති බැවින් එය වහාම ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අම්පාර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර රටේ පැවති සාමකාමී වාතාවරණය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනනේ පැවති දරදඬු ප්‍රතිපාදන ලිහිල් කර එය ප්‍රතිත්‍රස්ත පනතක් ලෙස ගෙන ඒමට රජය සුදානම් වූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ප්‍රතිත්‍රස්ත පනත්වලින් රටේ ජාතික ආරක්ෂාව රැක ගැනීමට නොහැකි බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ජාතික න්‍යාය පත්‍රයෙන් මඳක් පහළට ගෙනවිත් ජාතික ආරක්ෂාව ජාතික න්‍යාය පත්‍රයේ අංක එකට ගෙන ඒම යුගයේ අවශ්‍යතාවය බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව විනාශ කරමින් රකින්නට ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ මානව අයිතිවාසිකමක් නොමැති බවත් සඳහන් කළේය.

21 වන දින සිදුකළ ගෝලීය ත්‍රස්තප්‍රහාර මාලාව පාලනය කිරීමට ආරක්ෂක අංශවලට සහය ලැබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවති ප්‍රතිපාදන නිසා බවත්, අද අපේ රට ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දෙන හෙයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එලෙසම තබා ගනිමින් එයට තවදුරටත් දැඩි නීති ඇතුළත් කර ශක්තිමත් කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.