කුඩාඔය ගොවිපළක අවි ගබඩාවක් – ස්නයිෆර් හතරක් සොයාගනී

  • ඉඩමේ වළ දැමූ රිපීටර් ගිනි අවි 2 ක්, බෝර 12 හා කාණු දෙකේ ගිනිඅවි 4 ක්
  • ගිනිඅවිවලට යොදන දුරදක්න හා උණ්ඩ රැසක්ද හමුවේ
  • ඉඩම හිමි කෝටිපතියාගේ දෙහිවල නිවසේත් තවත් ආයුධ රාශියක්

කෝටිපති ව්‍යාපාරික මුස්ලිම් ජාතිකයකු විසින් වැල්ලවාය කුඩාඔය ප‍්‍රදේශයේ ගොවිපළක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් වැටලූ පොලිසිය ස්නයිෆර් ගිනි අවි ඇතුළු අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් සමඟ එම ව්‍යාපාරිකයා සහ තවත් අයකු පෙරේදා (12 වැනිදා) රාති‍්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

ඇමරිකාවේ සහ ශී‍්‍ර ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබාගෙන සිටින මොහොමඞ් ජෙස්ලි අබ්දුල් කාසීම් නමැති මෙම ව්‍යාපාරිකයාට අයත් දෙහිවල සරණංකර පාරේ පිහිටි නිවසේ තිබී තවත් අවි ආයුධ තොගයක් පොලිසිය විසින් ඊයේ (13 වැනිදා) සොයා ගෙන තිබේ.

මෙහිදී සොයා ගත් අවි ආයුධ අතර ස්නයිෆර් ගිනිඅවි 4 ක්, හඳුනා නොගත් ගල්කටස් වර්ගයේ අවියක්, රිපීටර් ගිනි අවි 2 ක්, බෝර 12 අවියක්, බෝර 12 කාණු දෙකේ අවි එකක්, එම් 77 වර්ගයේ ගිනි අවි 2 ක් ගිනිඅවිවලට යොදන දුරදක්න 3 ක්, විදුලි සංඥා පණිවිඩ යන්ත‍්‍ර 1 ක්, පෙන්ඩ‍්‍රයිව් සිම්පත් සමඟ විශේෂ ගිනිඅවි පිළිබඳ ලියැවුණු පොතක් ද තිබී ඇත.

මෙම අවි ගබඩාවේ සඟවා තිබී ටී56 උණ්ඩ 342 ක්, බෝර 12 උණ්ඩ 163, බෝර 2 දිග උණ්ඩ 430 ක්, බෝර 12 අවිවලට යොදන නොම්බර 16 උණ්ඩ 21 ක්, එම් 16 උණ්ඩ 110 ක්, මිමී 9 උණ්ඩ 75, මිලිමීටර් 7 උණ්ඩ 169 ක්, දුම් බෝම්බ 5 ක්, අත් විලංගු 01 ක්, දැලි පිහි, කිණිසි 14 ක්, කෙටේරි 2 ක්, වායු රයිෆල් උණ්ඩ පෙට්ටි 4 ක්, ආර්. ඊ. එම්. වර්ගයේ උණ්ඩ 2773 ක් තිබෙන බව පොලිසිය පවසයි.

මොනරාගල දිස්ති‍්‍රක්කයේ වැල්ලවාය කුඩාඔය ඌව කුඩාඔය බෝගස් පාර කිරිඳි ඔයට මායිම්ව පිහිටි විශාල ඉඩමක මෙම අවි ආයුධ තොගය වළ දමා තිබී ඇත.

ප‍්‍රදේශයේ නිවසක පදිංචි දරුවන් දෙදෙනකු වෙසක් කූඩු තැනීමට බට කැපීමට මෙම ඉඩමට ගිය අවස්ථාවේ සැක කටයුතු පාර්සල් කීපයක් තිබෙනු දැක ඒ පිළිබඳව තම මවුපියන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව එම ගොවිපළ පිහිටි ඉඩමට පැමිණි ප‍්‍රදේශවාසීන් මෙම පෙට්ටිවල අවි ආයුධ තිබෙනු දැක ඒ පිළිබඳව කුඩාඔය පොලිසිය වෙත දැනුම් දී ඇත.

පෙරේදා රාති‍්‍ර එම ගොවිපළ වෙත පැමිණි පොලිසිය එහි වළ දමා තිබූ අවි ආයුධ, ජීව උණ්ඩ ඇතුළු ආයුධ සියල්ල අත්අඩංගුවට ගන්නා ලදී. එම ගොවිපළේ මුරකරු ලෙස කටයුතු කළ දිනේෂ්දුරගේ ජයවීර නමැති පුද්ගලයා ද පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ එම අවි ආයුධ සියල්ල දෙහිවල පදිංචි මුස්ලිම් ජාතිකයකුට අයත් බවයි.

පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දෙහිවල පදිංචි මුස්ලිම් ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගත් අතර ඔහුගේ නිවසේ ද සඟවා තිබූ තවත් ආයුධ තොගයක් සොයා ගෙන තිබේ.

මෙම අවි ආයුධ තොගය ගොවිපළේ පිහිටි ගොඩනැඟිල්ලක මෙට්ට කීපයක සඟවා තිබී ඇති අතර මුස්ලිම් ව්‍යාපාරිකයාගේ උපදෙස් මත මීට දින 3 කට උඩදී ඒවා ගොවිපළේ වළ දමා ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම මුස්ලිම් ව්‍යාපාරිකයා කාලයක සිට අවි ආයුධ එකතු කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මොහු කුමන හේතුවකට මෙම අවි ආයුධ එකතු කළේ දැයි මෙතෙක් හෙළි වී නැත.

ව්‍යාපාරිකයා ත‍්‍රස්තවාදී සංවිධාන සමඟ සමීපව කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව විමර්ශන පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් මෙම අවි ගබඩාව පිළිබඳව පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.

දිවයින

Leave A Reply

Your email address will not be published.