මිනුවන්ගොඩ ගිනි ගනියි

මිනුවන්ගොඩ නගරයේ ඊයේ (13 දා) රාති‍්‍රයේ ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් කිසියම් පිරිසක් නගරයේ වෙළඳසල් රැසකට පහරදී හානි සිදු කර වෙළෙඳ සැල් කීපයකට ගිනිතබා ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

ඊයේ (13 දා) සවස පළමුව කලහකාරීන් විසින් මිනුවන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි හෝටලයකට පොලූ, යකඩ පොලූවලින් පහරදී අලාභ හානි සිදුකර තිබිණි. ඉන් අනතුරුව ලොරි, යතුරුපැදිවලින් හා පයින් පැමිණි දෙදහසකට අධික පිරිසක් නගරයේ කලහකාරී ලෙස හැසිරෙමින් වෙළෙඳ සල්වලට පහරදී හානි සිදුකර තිබේ. ඒ අතර වාරයේදී තවත් වෙළෙඳ සැල් කීපයකට ගිනිතබා විනාශ කර ඇතැයි පොලිසිය පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා ගම්පහ කොට්ඨාසයේ සියලූම පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් මිනුවන්ගොඩ නගරයට කැඳවා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබිණි. ඊට අමතරව යුද හමුදා ප‍්‍රහාරක රථ ද මිනුවන්ගොඩ පොලිසිය වෙත කැඳවා තිබූ අතර ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ භට පිරිස් ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය.

සිද්ධිය සමනය කිරීම සඳහා බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ යන මහත්වරුන් මූලිකත්වයගෙන කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

උපුටා ගැනීම – දිවයින

Leave A Reply

Your email address will not be published.