IS ලංකාවෙන් තුරන් කරන බව අගමැති කියයි

අයි එස් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බවත්, ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන අය හෝ ඊට අනුබල දෙන අය පිළිබඳව තොරතුරු දන්නේ නම් එම තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙස තමන් ජනතාවගේ ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකපුව සියෝන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අන්තවාදීන් කිහිපදෙනෙක් එකතුව පසුගිය 21 වෙනිදා ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරිමින් ඛේදවාචකය සිදුකර ඇති බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය ජය ගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික සියලූ දෙනා එකට එක්ව ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නේය.

ත්‍රස්ත ප්‍රහාරවලින් විනාශයට පත් සියෝන් දේවස්ථානය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර දෙන බව ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව එහි පූජකතුමන්ලා සමඟ සාකච්ඡා කරමින් ඉදිරි පියවර පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් සහ තුවාල ලැබුවන් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

Leave A Reply

Your email address will not be published.