දින සියයේ ආණ්ඩුව බලයේ සිටියදී 2015 මැයි 12 වැනිදා එවකට තොරතුරු තාක්‍ෂණ විශ්වවිද්‍යාලය හෙවත් ස්ලිට් ආයතනය බාරව සිටි ගාමිණී ජයවික‍්‍රම පෙරේරා ඇමැතිවරයාගේ නියෝජිතයන් දෙදෙනකු විසින් එම ආයතනය කෝටි 40 ක් වැනි සුළු මුදලකට විකුණා දැමූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා රාජ්‍ය ආයතනවල සිදුවූවා යැයි සැලකෙන දුෂණ , වංචා සොයා බැලීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ ලබාදුන් සාක්‍ෂියකින් කියැවිණි.
විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ වැඩිදුරටත් සාක්‍ෂි ලබාදුන් විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.
පසුව ඇමැතිවරයා ලෙස මම යළි එම ආයතනය පවරා ගැනීමට කටයුතු කළා. නමුත් දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක වීම නිසා එය ලබාගැනීමට නොහැකි වූවා. ඉන් පසුව මම මේ පිළිබඳව අල්ලස් කොමිෂන් සභාවට සහ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කළා. මම ඇමැති ධුරය දරන කාලයේදී නිල වශයෙන් අල්ලස් සහ දුෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ ලිපි ගොනුවත් අතුරුදන් වූ බව දැනගන්නට ලැබුණා.
සමස්තයක් ලෙස විගණකාධිපතිතුමාගේ වාර්තාවත් සමඟ බැලූ විට පසුගිය වසර කිහිපයේ මහපොළ භාරකාර අරමුදලට සිද්ධ වූ පාඩුව මිලියන 48,000 කට වඩා වැඩියි. ස්ලිට් ආයතනය පිහිට වූයේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට අරමුදල් ලබාගැනීම සඳහායි. නමුත් අද වනවිට මහපොළ ශිෂ්‍යත්වය ලබාදෙන්නේ සංවර්ධන ලොතරැුයියෙන් ජනාධිපතිතුමාට ලැබෙන මුදලෙන් භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලින් සහ මහපොළ අරමුදල් පොලියෙන්.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දහස් ගණනක් සිටියත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙළපාලි උද්ඝෝෂණ කළත් මේ පිළිබඳව කිසිවකු හඬ නොනඟන බව ද විජයදාස රාජපක්‍ෂ මහතා පැවසූ අතර වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ රටේ මහජනතාව සතු සම්පතක් වූ මෙම ආයතනය යළි ජනතාවට ලබාදීමට බලතල සහිත ජනාධිපති කොමිසම කටයුතු කරනු ඇති බව තමා බලාපොරොත්තු වන බවයි.