මධූෂ් මෙරටට පිටුවහල් කරනවාද..? -අධිකරණ තීන්දුව අද

‍සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මදුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

පසුගිය පෙබරවාරි 05වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් අතර එම පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වෑන් රෝයන් යන අය ද සිටියේය.

අත්අඩංගුවට ගත් පිරිස් සම්න්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂන පවත්වා පුද්ගලයින් 30 දෙනෙකු මේ වනවිට අවස්ථා කිහිපයකදී එරටින් පිටුවහල් කරනු ලැබුවේය.

ඔවුන්ගෙන් පිරිසක් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගත කෙරුණු අතර තවක් පිරිසක් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැරීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් තමන් ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස මාකඳුරේ මදුෂ් එරට අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබු අතර එහි තීන්දුව පසුගිය 18 වනදා ලබා දීමට නියමිතව තිබුණි.

එහෙත් එදින අධිකරණ තින්දුව ලබා දීමට කටයුතු නොකළ අතර තීන්දුව ලබා දීම අද දිනය දක්වා කල් දැමීමට එරට අධිකරණය පියවර ගත්තේය.

මාකඳුරේ මදුෂ් මෙරටට අවශ්‍ය සැකකරුවකු වන හෙයින් ඔහු පිටුවහල් කීරීමට පියවර ගන්නා ලෙස රජය ද රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී ඩුබායි රජයෙන් ඉල්ලීමක් ද කර ඇත.

අද දිනයේ ඩුබායි අධිකරණය ලබා දෙන තීන්දුවට අනුව මාකඳුරේ මදුෂ් සම්න්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.