පොහොර මිලදී ගන්නා වවුචරය මහ කන්නයේ සිට ඉවතට

ලබන මහ කන්නයේදී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් නිකුත් නොකිරීමට තීරණය කර තිබෙනවා.

වවුචර්පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රායෝගික ගැටළු හේතුවෙන් මින් ඉදිරියට වවුචර්පත් ලබානොදීමට තීරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

ඒ වෙනුවට ලබන මහ කන්නයේදී ගොවීන්ට තම අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම්වලටම මුදල් යෙදවීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවසුවා.

රට තුළ ආර්ථිකමය වශයෙන් ගැටළු සහගත තත්ත්වයන් පැවැතියත් රජය විසින් ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කර ගැනීම සඳහා ලබාදෙන සහන තවදුරටත් ලබාදෙන බවත්, මේ නිසාම මෙම වසර අවසානය වන විට මෙරට සහල් අතිරික්තයක් ඇති විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ගොවීන්ට සහන සැලසීම සඳහා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනා සියල්ලටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුමැතිය ලබා දුන් බව ද අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියා.

මෙම යල කන්නයේදී රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් ගොවීන්ට වවුචර්පත් සහනාධාරයක් ලබාදීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් යල කන්නයේ වී වගා කරන සියලුම ගොවීන්ට සහනාධාර මුදලක් වශයෙන් වවුචර්පත් නිකුත් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රටේ සමස්ත වී ගොවීන් සංඛ්‍යාව ලක්ෂ 12 ක්. ඉන් ගොවීන් පන් ලක්ෂ 34,433 කට ජුලි මස 04 දින වනවිට වවුචර්පත් නිකුත් කර තිබෙනවා.

යල කන්නයේ දී වී වගා කළ ගොවීන් ප්‍රමාණය හත් ලක්ෂ දාහත් දහසක් වනවා.

ඉන් පන් ලක්ෂ තිස්හතර දහස් හාරසිය තිස්තුනකට මේ වනවිට වවුචර්පත් නිකුත් කර තිබෙනවා.

මෙම සමස්ත වවුචර් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 11ක් බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

Leave A Reply

Your email address will not be published.