සල්ලිවලින් සල්ලි හොයන වාසි වැස්සක තෙමෙන්න අකමැති අයෙක් සොයාගැනීම අපහසුය. එම සරල මානසික කාරණය මූලික කරගෙන බොහෝ සේවා ආයතනද ගොඩනැඟී ඇත. ඒවායින් ප්‍රතිලාභ ලබන්නෝද නොලබන්නෝ ද වෙති. ඒවාට අසුවී තිබ්බ සබ්බ සකලමනාවම නැති කරගත්තෝද වෙති. අද අප ඔබට කියන්නේ ද එවැන්නකි.
කලින් කල කරළියට එන විධිමත්, අවිධිමත් සේම නීත්‍යනුකූල හෝ නීති විරෝධි මූල්‍ය පහසුකම් සලසන්නෝ සහ ගනුදෙනුකරුවෝ බොහෝය. Onmax DT යනු අද ඒ ආකාරයෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයන තවත් එක් ආයතනයකි. නූතන තාක්ෂණයේ බල මහිමයෙන් මූල්‍ය ගනුදෙනුවල නිරත වන මෙවන් ආයතන බොහෝමයක් මෙරට ඇත. මීට පෙර අවස්ථාවන්හි පැනෝරා, සක්විති, දඩුවම්, දැඩි දඬුවම් ආදිය මෙම ආයෝජන ක්‍රමවේදයේ නිරතව සිටි ආයතනයන්ය. එම ආයතන සහ නිධාරීහු භෞතික වශයෙන් ආයෝජකයන් මුණගැසුණහ. ඔවුන් ගනුදෙනු කළේ මෙරට සම්මත මුදල් එකකයන්ගෙනි. එහෙත් වර්තමානයේ සිදුවන අන්තර්ජාලයෙන් මුදල් උපයන Onmax DT වැනි ආයතනයන්හි සියලු ගනුදෙනු සිදුවන්නේ විද්‍යුත් මුදල් ඒකකවලින් අන්තර්ජාලය හරහා පමණි.
මෙවන් නූතන ක්‍රමවේද ජාත්‍යන්තරයේ පවතී- බැලූබැල්මට එය ඉතා පහසුය. ප්‍රතිලාභ ද අධිකය. නමුත් මේ ඔස්සේ විවිධ මාෆියාවන් ද ක්‍රියාත්මක විය හැකිය. එසේ වූ කල අපට අසන්නට ලැබෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ කතාවකි. එම කතාව කුමක් විය හැකිද යන්න සරලව තේරුම් ගැනීමට ඔබේ බුද්ධිය ප්‍රමාණවත්ය. තැනින් තැන ඇසෙන්නට වූ එම කතා නිසාද වරින්වර මහ බැංකුවට ලැබුණු ඇමැතුම් ඔස්සේ කියැවුණු දුක් සන්තාපයන් නිසාද මෙරට මූල්‍ය පද්ධතියේ ප්‍රධානියා සහ පරිපාලකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ආයතනය විමර්ෂණයට ලක්කරමින් සිටී.
මෙවන් ආයතනයන්හි මුදල් ආයෝජනයට පෙර ආයෝජකයා විසින් කරනු ලබන විමසීම්හිදි එම ආයතන නිලධාරීහු සිය ආයතනයේ ඉතිහාසය ඉතා ආකර්ෂණීයව ඉදිරිපත් කරති. තමන්ට ජාත්‍යන්තරය සමඟ ඇති සබඳතා හුවාදක්වති- ඔවුන්ගේ මවු සමාගම් විදේශීයව ඇති බව පවසති. ඒ අනුව ඔවුන් හුවාදැක්වෙන්නේ ඔවුන් ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් වන බවය. තරු පන්තියේ හෝටලවල ඔවුන්ගේ දේශන, සැසි, පන්ති පැවැත්වෙයි. නම, ලිපිනය, දුරකථන අංක, ලියාපදිංචි අංකය සහිතව මුද්‍රණය කළ පොත්, පත්‍රිකා බෙදාහැරෙයි. එහෙත් ගනුදෙනුවකදී තර්කානුකූල බුද්ධියට මුල්තැන දීම වඩා වටී.
Onmax DT ආයතනයටද වසර 15ක කීර්තිමත් ඉතිහාසයක් ඇති බවත් එය ඇමෙරිකන් ආයතනයක් බවත් එහි ප්‍රධාන විධායක නිලධාරියා හෙවත් CEO ඔස්ට්‍රේලියානු ජාතික මයිකල් හියුමන් නම් තැනැත්තකු බවත් සභාපති සෑම් බස්නායක වන බවත් එතැනින් පහළ සේවක පිරිස හෙවත් Onmax DT එක ලෙසින් ධනංජය, ගයෂාන්, සම්පත්, අතුල යන ශ්‍රී ලංකිකයන් සේවය කරන බවත් එම ආයතනය පිළිබඳව කරනු ලබන හඳුන්වා දීමකදී එහි සේවකයෙක් සඳහන් කළේය. එහෙත් එම ආයතනයේ විද්‍යුත් අඩවියට පිවිසෙන අපට අසන්නට ලැබෙන්නේ එය ඕස්ට්‍රේලියානු රජයේ ලියාපදිංචි ආයතනයක් වන බවයි.
හිටි හැටියේ මතුවී හිටි හැටියේම වියැකී යන මෙවන් ආයතන සහ සමාගම් තමන්ට කොකා පෙන්වා ඇති බව ඇතැම් ආයෝජකයන් දැනගන්නේ ඒ පිළිබඳ මාධ්‍ය ආයතනයන්ගෙන් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම්වලදීය. එවන් අවස්ථාවන්හිදී ඇතැමුන්ට තමන් කළ ගනුදෙනු පිළිබඳ හෙළිකිරීම සඳහා වූ ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් ද නැත. එවිට නීතියේ සරණ පැතුවද සාධාරණයක් ඉටුකර ගැනීම අපහසුය.
මෙවන් ආයතන සිය ප්‍රචාරක මාධ්‍ය කරගන්නේ නූතන තාක්ෂණයි. ඒ ඒ අය විසින් පවත්වාගෙන යනු ලබන සංගම් හෙවත් ගෘෘප් මඟින් ඔවුහු තොරතුරු බෙදා හරිති. දැනුවත් කරති. සූම් තාක්ෂණය මඟින් දේශන පවත්වති. එය මෙවන් ව්‍යාපාර සඳහා ආශිර්වාදයකි. එකිනෙකා මුණ නොගැසීම නිසා තොරතුරු හුවමාරුවක්ද දැන හ¾දුනාගැනීමක්ද සිදුනොවීම ආයතනයේ පැවැත්මට වාසියකි. එමෙන්ම තාක්ෂණය ඔස්සේ සිදුවන මෙම දැනුවත් කිරීම්වලදී ආයෝජකයන්ගෙන් ගැටලු ඉදිරිපත් වන්නේද ඉතා සුළු වශයෙනි. අද ඔබ දකින සිහිනය හෙට සෑබැවන අයුරින් සකස් කරනු ලබන රූපමය මායාවට වශීවන ඔබට ඒ පිළිබඳ තව දුරටත් ප්‍රශ්න නැඟීමේ අවශ්‍යතාවක් ඇති නොවීම පුදුමයක්ද නොවේ.
මෙම ආයතන කතා කරනුයේ ඔබේ හදවතටය. දුප්පතුන් වීමේ දුක වැනි මානසික කාරණා මූලික කරගෙන ධනාත්මක චින්තනය අවදිකරමින් ඔවුහු ඔබ ආමන්ත්‍රණය කරති. වෙහෙස වීමකින් තොරව ආදායම් ඉපැයිය හැකි සරල ක්‍රමයක් පෙන්වාදී ඔබ ඒ කෙරෙහි ආකර්ෂණය කරවති. සාමාජිකයන් වැඩිවන තරමට ඔබේ ආදායමත් දීමනාත් වැඩිවන නිසා සාමාජික සංඛ්‍යාව වැඩිකර ගැනීමට ඔබේ සිත ඔබට බල කරයි. ඉක්මනින් පොහොසතෙක් වන්නට විශාල මුදලක් ආයෝජනය කිරීමට ඔබ පෙලඹෙයි. පොහොසතෙක් පෙන්වා ඔවුන් වෙත ඔබේ ඊර්ෂ්‍යාව අවදිකරවමින් ඔවුහු ඔබ මනස සූක්ෂමව පාලනය කරති. ඔවුහු කිසිදු අවස්ථාවක විමසා බලා තීරණයක් ගන්නැයි ඔබට නොකියති.
අපි මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සමඟ කතා කළෙමු. ඔහු අදාළ ආයතනය පිළිබඳ දැක්වූ අදහස මෙසේය.
“මම Onmax DT කියන ආයතනයේ මේ අරමුදල සම්බන්ධයෙන් මෑතකාලීනව යම් මට්ටමක අධ්‍යයනයක් කළා. ඊට හේතුව යම් යම් පාර්ශ්වයන් මේ අරමුදල කුමක්ද එය නීත්‍යනුකූල ද යන්න මගෙන් විමසා සිටි නිසයි. එහිදී ඔවුන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන එක් ආකාරයක අරමුදලක් විදිහට පෙනී සිටින බව මට තේරුම් ගියා. ඒ මඟින් ඔවුන් අරමුදල් රැස්කරගෙන මාස 18 – 20 වැනි කාලසීමාවන්ට අදාළව ආයෝජනය කරනවා. ඒ මුදලට අදාළ පොළියත් ඔවුන් ගෙවනවා කියනවා. ඔවුන් ලංකාවෙ පළාත් කිහිපයක් මූලික කරගෙන මෙම කටයුත්තේ නිරත වන බවත් පෙනී ගියා. ඒ දකුණ, උෟව සහ මධ්‍යම යන පළාත්ය. ඔවුන් මූලික වශයෙන් මෙම ක්‍රියාවේ නිරත වෙන්නේ crypto currency (විද්‍යුත් මුදල් ඒකකයකි) වලට අදාළව නොවෙන බවත් මා හ¾දුනාගත්තා. මෙය මීට වර්ෂ 10කට පමණ පෙර සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරන්තරයෙන්ම මහජනතාව දැනුවත් කරනු ලබන, අනතුරු අඟවනු ලබන පිරමීඩ ක්‍රමය මත ගොඩනැඟුණු අරමුදලක් වන බවත් මට පෙනී ගියා. මෙම ක්‍රමවේදයට අනුකූලව තමයි ලංකාවෙ ජාවාරම් මූලික වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ. මෙහිදී ඔවුන් එම අරමුදල් ක්‍රියාත්මක වෙන්නෙ crypto currency ගනයෙන් වන බවත් ඒවා පිරමීඩ කියන අරමුදල් ගනයට නොවැටෙන ජාත්‍යන්තරිකව සිදුවන ගනුදෙනු ආකාරයට හුවා දක්වනවා.
ආයෝජකයෙක් ලෙස යම් මුදලක් ආයෝජනය කරන විට එම මුදල් ආයෝජනය කරන්නේ කුමනාකාර ආයතනයකද යන්න සොයා බැලිය යුතුයි. තමන්ට ලැබෙන්නේ ඉතා ඉහළ පොලියක් නම් එවැනි ප්‍රතිලාභයක් එම ආයතනයට ලබාදිය හැකිද යන්න පිළිබඳ සොයා බැලීමක් කළ යුතුයි. තමන් මහන්සි වී හරි හම්බ කරගත් මුදල මෙවැනි වංචාවලට හසුවී නැති කරගත යුතු නැහැ. easy come easy go වගේ ලෙහෙසියෙන් එන දේවල් ලෙහෙසියෙන් යනවා. ඉක්මනින් මුදල උපයන්න ගොස් ඉක්මනින් මුදල් නැති කර නොගෙන තමන් ආයෝජනය කරන ස්ථානය පිළිබඳ ඉතා හොඳින් සොයා බලන්න කියලා මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
මෙකී ආයතනය පිළිබඳ සොයාබලා අනාවරණය කරගන්නා ලද තොරතුරු අනන්‍යයන්ගේ දැනුවත් බව උදෙසා ඇතැමුන් විසින් youtube හි පළකර ඇත. ඒ මෙම ආයතනට කියන තරම් දීර්ඝ ඉතිහාසයක් නොමැති බවත් ඔවුන් පෙන්නුම් කරන ලිපිනයෙහි ඇති ආයතනය ස්ථිර වශයෙන්ම වසා දමා ඇති බවත් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංවි ආයතනයක් වුවත් එහි ඕස්ට්‍රේලියානු ගනුදෙනුකරුවන් කිසිවකු නොවන බවත් ආයතනයෙහි ඡායාරූප කිසිවක් ඔවුන්ගේ වෙබ් අඩවියෙහි පළ කර නොමැති බවත් එහි සඳහන් වන්නේ ජංගම දුරකථන අංකයන් වන බවත් dilshan im academy චැනලය කියයි –
මෙවැනි ආයතනයන්හි ආයෝජනය කිරීමට ඔබ ද අදහස් කරන්නේ නම් ඉහත සඳහන් කරුණු පිළිබඳ විමර්ශනය කිරීම ඔබට ද අපහසු නැත. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය ඔබ සතු නොවන්නේ නම් දැනුමැත්තෙකුගේ සහාය ගත හැකිය. මන්දයත් මෙවැනි පිරමීඩ යෝජනා ක්‍රමයක් පිළිබඳ පසුගිය කාලය පුරා අප බොහෝ අමිහිරි අත්දැකීම් ලබා ඇති නිසාය.
මෙවන් සමාගම් හිමිකරුවෝ නිතරගයෙන්ම ජයග්‍රාහකයෝ වෙති. මෙහි ප්‍රතිලාභ බෙදීයන ක්‍රමවේදය අනුව වැඩියෙන්ම අසරණ වන්නේ මෙහි පහළම ස්තරයයි. මෙම ක්‍රමය තුළ ලාභාංශ බෙදීයන්නේ තව තවත් සිදුකරන බදවාගැනීමේ ක්‍රමවේදය මතය. ඒ ඒ ස්තරයන්ට පහසුවෙන් ආයෝජනය කළ හැකිවන පරිදි අයෝජන ස්තරයන් ද එම ආයතන විසින් හදුන්වාදෙන අතර ඒ ඒ ආයෝජනයේ ප්‍රමාණය මත ලාභාංශය ද තීරණය වේ. එය මාසික ආයෝජනය මෙන් කිහිප ගුණයෙන් වර්ධනය වූ ප්‍රමාණයකි. විශේෂයෙන්ම සාමාන්‍ය පුද්ගලයකුට සිතාගත නොහැකි තරමේ වාසියකි. එනිසා වඩා වැඩි වාසි සලසන සේවාවන් පිළිබඳ සවිඥානික වීම ඔබේ වගකීමයි.
මෙය ලොව පුරා ක්‍රියාත්මක වන සංවිධාන ජාලයකි. මුල් මාස කිහිපය තුළ පොරොන්දු වූ පරිදි මුදල් ලැබෙයි. එමඟින් ගනුදෙනුකරු තුළ විශ්වාසය තහවුරු කෙරෙයි. නමුත් නොසිතූ අවස්ථාවක ඔබ වෙත ලබාදී ඇති දුරකථන අංක ක්‍රියා විරහිතව යයි. ඔබට ලබාදී ඇති ලිපිනයේ එවන් ආයතනයක් කිසිදා නොතිබුණු අවස්ථාද දී ඇති ලිපිනයේ සිට කලකට පෙර ඉවත්ව ගොස් ඇති අවස්ථාවන් ද ඕනෑ තරම් පොලිස් පොතේ ලියැවී ඇත.
මෙවන් ව්‍යාපාර පවත්වාගෙන යෑම මෙන්ම ඒවාට සම්බන්ධ වීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් තවමත් ජනතාව නොදැනුවත්ය. එනිසා මෙවැනි ව්‍යාපාරයන්ට සිය ව්‍යාපාරික දැළ එළීමද ඒ සඳහා ඔබ ගොදුරු කරගැනීමද පහසුය. එබැවින් විවිධ මුහුණුවරයන් ඔස්සේ කලඑළිබසින්නේ එකම රකුසෙක් බව ඔබ අවබෝධ කොටගෙන ජීවත්වන්නේ නම් මෙවන් කූට ව්‍යාපාරිකයන්ට හෝ ව්‍යාපාරයන්ට මෙරට තුළ තව දුරටත් අවකාශ නොලැබෙනු නියතය.
තනූජා සූරියබණ්ඩාර
උපුටා ගැනීම – මව්බිම
ඒ සම්බන්ධයෙන් කළ වීඩියෝ කිහිපයක් පහලින්