රටට ඇතුළුවන ව්‍යාජ ස්මාර්ට් ජංගම දුරකථන අල්ලන්න නව යාන්ත්‍රණයක්

ඔබේ දුරකථනය ඔරිජිනල් ද ? නැත්නම් සල්ලිත් වතුරේ ඔබත් අනතුරේ

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බොහෝ විද්‍යුත් උපාංග පිළිබඳව මෑත කාලීනව දැඩි කතා බහක් ඇති වුයේ රජය විනිමය පාලනය සඳහා ආනයන සිමා පැනවීමට ගත් තීරණයත් සමඟය. විශාල වෙළඳපොල ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ මෙම තත්ත්වයත් සමඟ මිල ඉහළයාමක් මෙන්ම භාණ්ඩ හිඟ වීමක් පිළිබඳවද සැකයක් පැතිර ගියේය. නමුත් ඒ වන විටත් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ජංගම දුරකථන තොග ආනයනය කර තිබුණි. එම නිසා පාරිභෝගිකයා එම භීතියෙන් ඈත් වුවද මෙම ආනයන ක්‍රියාවලියේදී සහ ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොළ තුල පාරිභෝගිකයා අදුරට ඇද දමන දීර්ඝ කාලිනව පැවති විශාලතම ගැළුවක් විය. ඒ පාරිභෝගිකයා මිලදී ගන්නා ස්මාර්ට් ජංගම දුරකථනය නිත්‍යානුකුලව මෙරටට ආනයනය කරන ලද ඒවාද යන්න හා නිෂ්පාදන සමාගමේ ප්‍රතිපත්ති සහ කොන්දේසි යටතේ අලෙවියෙන් පසු සේවාවන් ලබා ගැනීමට සුදුසුකම් ලත් දුරකථන ද යන ගැටලුවයි.

ශ්‍රී ලංකාවේ දුරකථන වෙළඳපොල ගත් කල විවිධ දුරකථන නිෂ්පාදන සමාගම් හා සන්නාම රාශියක් දැකිය හැකිය. මෙම සන්නාම යටතේ වසරකට මෙරටට ආනයනය කරනු ලබන දුරකථන හා උපාංග ප්‍රමාණය අති විශාලය. එහිදී ශ්‍රී ලංකාව 2020 වසරේදී ස්මාර්ට් ජංගම දුරකථන ආනයනය සඳහා වියදම් කර ඇති මුදල ඔබ පුදුමයට පත් කරනු ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 408කි. 2020 වසරේ ශ්‍රී ලංකාව බොර තෙල් ආනයනයට වියදම් කර ඇත්තේ ද ඇමරිකානු ඩොලර් මිලියන 405කි. ඒ හා සැසඳීමේදී දුරකථන ආනයනය සඳහා 0.78% කට වැඩි අගයක් වියදම් කර තිබේ. විශේෂයෙන්ම 2021 වසරේදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ටැබ් සහ ස්මාර්ට්ෆෝන් වල පරිමාව පිළිබදව අවදානය යොමු කිරීමේ දී එය මෙට්‍රික් ටොන් 1500 කට ආසන්නය. මෙහි සුවිශේෂී කරුණ නම් මෙම දුරකථන තොග අතර නිත්‍යානුකුලව සහ නිත්‍යානුකුල නොවන මාර්ග වලින් මෙරටට ගෙනෙන ලද දුරකථන ඇතුළත් වීමය. ඒ හේතුවෙන් එම ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගන්නා පාරිභෝගිකයන් අතිශය අපහසුතාවයට පත්වූ අවස්ථා එමටය.

මේ පිලිබඳ පිරික්සා බැලීමේදී පාරිභෝගිකයින් ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමේදී බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් විශේෂාංග සක්‍රිය කිරීමට නොහැකි වීම, දුරකථන සමාගමේ වගකීම් සහතික මගින් සහතික වී ඇති අලෙවියෙන් පසු සේවා ලබා ගැනීමට නොහැකි වීම ආදී ගැටළු රාශියක් හඳුනා ගැනීමට හැකි විය. එම තත්ත්වය පිළිබඳව වැඩි දුර සොයා බැලීමේදී හොර පාරෙන් රටට ඇතුළුවන ස්මාර්ට් ජංගම දුරකථන හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව පෙනී යයි.

ගෝලීය ජංගම දුරකථන කර්මාන්තයට අනුව බෙදා වෙන් කර ඇති කලාප අනුව ඒ ඒ කලාප වලට අනන්‍ය වූ නිෂ්පාදන සේවා කොන්දේසි පවතී. ශ්‍රී ලංකාව අයත් කලාපයෙන් බැහැර කලාප වලින් මෙරටට විවිධ නිත්‍යානුකුල නොවන මාර්ග වලින් පැමිණෙන දුරකථන හා උපාංග හේතුවෙන් මෙම ගැටළු වැඩි වශයෙන් පැන නගී. උදාහරණයක් ලෙස ඩුබායි රටින් මිලදී ගන්නා දුරකථනයකට එම කලාපයට අනන්‍යවූ ඇතැම් පහසුකම් සමාගම විසින් ඇතුළත් කර තිබුණද, එම දුරකථනය ශ්‍රී ලංකාවට ගෙනවිත් භාවිත කිරීමේදී අදාළ විශේෂාංග හා පහසුකම් අක්‍රිය වීම සිදු වේ. එසේම ඩුබායි හිදී ඔබ මිලදී ගන්නා dual sim devices එකක් සඳහා global warranty යටතේ ශ්‍රී ලංකාවේ දී අළුතින්ම ලබා ගැනීමට යාමේදී බලයලත් නියෝජිතයෙකු වෙතින් හිමිවන්නේ single sim devices එකකි. වගකීම් සහතිකය යටතේ මෙවැනි සේවාවක් ලබා ගැනීමට යාමේදී අදාළ බලයලත් ආයතන TRC අනුමැතිය පරික්ෂා කරන අතර අනුමැතියෙන් තොර ස්මාර්ට් ජංගම දුරකථන සඳහා අනුමැතිය ගැනීමට පාරිභෝගිකයාට තනිවම වෙහෙසීමට සිදුවේ. නමුත් TRC අනුමැතියෙන් තොරව රට තුලට ගෙනවිත් පසුව අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී එය ප්‍රතික්ෂේප වී යයි. මේ හේතුවෙන් පාරිභෝගිකයාට දුරකථනයත් මුදලත් දෙකම අහිමි වී ගිය අවස්ථා ද ඇත.

මෙම තත්ත්වය පාලනය කර පාරිභෝගිකයාත් නිෂ්පාදකයාත් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොළේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ස්මාර්ට් ජංගම දුරකථන ආනයනය සම්බන්ධව සුවිශේෂී ගැසට් නිවේදනයක් නිකුත්කෙරිණි. ඒ අනුව 2020 දෙසැම්බර් මාසයේ දී බලාත්මක කරන ලද 2196/51 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම GSMA ආයතනය වෙත නිකුත් කරන TAC letter උපයෝගී කර ගනිමින් විශේෂ යාන්ත්‍රණයක් දියත් කෙරිණි.

එහිදී ශ්‍රී ලංකාවට ස්මාර්ට් ජංගම දුරකථන ගෙන්වන ආනයනකරුවන් විසින් අදාළ නිෂ්පාදන සමාගෙමෙන් ශ්‍රී ලංකාවට එවනු ලබන ස්මාර්ට් ජංගම දුරකථන තොගයට අදාළ TAC letter ලබා ගත යුතුය. අනතුරුව TRC විසින් අදාළ TAC letter, GSMA ආයතනයෙන් පරික්ෂා කර තහවුරු කිරීමෙන් අනතුරුව එම ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොළට නිකුත් කිරීමට අවසර ලබා දෙනු ලබයි.

මෙම නව වැඩපිළිවෙල පිළිබඳව අත්දැකීම් සහිත ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ නියැලෙන්නෙක් අදහස් දක්වමින් මෙසේ පැවසිය. “TRC ය TAC letter භාවිතා කරලා ලබා දෙන අනුමැතිය නිසා පාරිභෝගිකයාට කිසිඳු සැකයකින් තොරව නිෂ්පාදන සමාගම මෙරට භාවිත කරන ස්මාර්ට් ජංගම දුරකථන වලට ලබා දෙන විශේෂාංග, වගකීම් හා සේවා බාධාවකින් තොරව ලබා ගන්න පුළුවන්. මේ නිසා පාරිභෝගිකයාටත්, නිෂ්පාදන සමාගටමත්, බලයලත් සේවා සපයන්නන්ටත් සැනසිලිදායක ලෙස කටයතු කරන්න හැකියාව ලැබිලා තිබෙනවා. ඒවගේම සමස්ත ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොළේ ප්‍රමිතිය ඉහළ නැංවිලා තිබෙනවා. ස්මාර්ට් ජංගම දුරකථන ආනයනකරුවන්ට, රජයට, පාරිභෝගිකයා ඇතුළු ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ සියලුම පාර්ශවකරුවන්ට මෙම ක්‍රියාවලිය සෘජුවම බලපාන්නක්. එමනිසා TRCSL ආයතනයේ ක්‍රියාත්මක කරන මෙම දූරදර්ශී යාන්ත්‍රණයට ස්තුති කල යුතුයි. එය අප සියලුදෙනා විසින්ම ලැබූ ජයග්‍රහණයක් ලෙස සලකන්න කැමතියි.”

මෙම ක්‍රමවේදය හරහා TRCSL ආයතනය ජංගම දුරකථන වල සත්‍යතාව තහවුරු කර ගැනීමට අමතරව ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන වෙළඳපොලට වැඩි වටිනාකමක් හිමිකර දුන්නේය. එහිදී good network performance, prevent distortion හා degradation of network, avoid interference, සහ preserves network integrity ආදී පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීමට හේතුවන ජාල ක්‍රියාකාරිත්වයක් සහතික කිරීම සඳහා ද සහය වේ. එලෙසම TRCSL ආයතනය ආනයන ක්‍රියාවලිය තුළ ශක්තිමත් බදු ආදායම් ප්‍රවාහයක් ලෙස සැලකෙන අතර ආයතනයේ මෙම නව යාන්ත්‍රණය හරහා රටට අහිමි විය හැකි රුපියල් බිලියන ගණනක සුරක්ෂිතභාවය ද සහතික කර ඇත. ඒ අනුව TRC ආයතනයේ මෙම අඛණ්ඩ යාන්ත්‍රණය තුළින් පාරිභෝගිකයාට සත්‍ය නිෂ්පාදන වගකීමක් සහිත ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගෙන සැබෑම පාරිභෝගික තෘප්තිය විඳීමට අවස්ථාව සලසා දෙනු ඇත.

Leave A Reply

Your email address will not be published.