වත්කම් සැඟවූ ලෝක ප්‍රබලයින් අතර ශ්‍රී ලාංකික ඇමැති කෙනෙකුත්.. pandora papers හෙළිදරව්වක්….

ලොවපුරා සිටින රාජ්‍ය නායකයින්, දේශපාලඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාවය සඟවමින් සිදුකරනු ලැබු මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ICIJ යනුවෙන් හඳුන්වනු ලබන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය සමත්ව තිබෙනවා.

මිලියන 12කට අධික ලිපි වලින් යුක්ත මෙම හෙළිදරව් කිරිම පැනඩෝරා පත්‍ර (Panadora Papers) යනුවෙන් නම් කර තිබෙනවා.

අදාළ ලිපිගොනු මගින් වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300කට වැඩි පිරිසකගේ තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම තොරතුරු අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමත් සඳහන් වෙනවා.

හිටපු අමාත්‍යවරිය විසින් සිය ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේසන් විසින් විදේශ අක්වෙරළ සමාගම් හරහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගෙන ඇති බවට පැන්ඩෝරා ලේඛණ මගින් කරුණු අනාවරණය කර ගෙන ඇත. (https://www.icij.org/investigations/pandora-papers/power-players/?player=nirupama-rajapaksa)

ජෝර්දාන් රජු, බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ, රුසියානු ජනාධිපති වැලැඩ්මියර් පුටින්, චෙක් අගමැති ඇන්රේච් බබීස් ඇතුළු රටවල් රැසක නායකයින් සහ දේශපාලඥයින්ගේ රහසිගත වත්කම් පිළිබඳ මෙමගින් හෙළිදරව් වී තිබෙනවා.

වසර 07ක කාලයක් තුළ නිකුත් වූ ලිපි ලේඛන පිළිබඳව විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින් මෙම හෙළිදරව් කිරීම් සිදුකර ඇති අතර ඒ සඳහා වාර්තාකරුවන් 650කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.