රාජපක්‍ෂ නම යොදා ගනිමින් වැරදි කරනවා නම් පොලිසි යන්න – අමාත්‍ය නාමල් රාජපක්ෂ

රාජපක්‍ෂ නම යොදා ගනිමින් කිසිවකු නීති විරෝධී කටයුතු වල යෙදෙන්නේ නම් ඒ ගැන ජනමාධ්‍ය ඔස්සේ චෝදනා නොකර පොලිසියට පැමිණිලි කරන මෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

සැප්තැම්බර් 24 වෙනිදා අමාතවරයා මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක නිරතවූයේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය සඳහායි. එහිදී ඇමැතිවරයා හමුවූ ප්‍රදේශයේ මාධ්‍යවේදීන් ‘රාජපක්ෂ පවුලේ සමීපතමයකු ‘ යැයි පවසා පරිසර හානි පමුණුවමින්, නීති විරෝධී ලෙස වැලි හැරීමේ නිරත ව්‍යාපාරිකයකු ගැන ප්‍රශ්න කර සිටියා..

හම්බන්තොට පදිංචිකරුවකු වන ජානක සමරසේකර නමැත්තෙක් මඩකලපුව ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් මහා පරිමාණයෙන් වැලි හාරන බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ හා පරිසර ඇමැති මහින්ද අමරවීර ගේ හිතවතෙක් ලෙස අඟවමින් මෙම කටයුතු වල නිරත බවයි මාධ්‍යවේදීන් පැවසුවේ.

”ඔය චෝදනාව හැමෝම කරනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයත් කරනවා. ලේසිම දේ අපේ නම කියන එක, විපක්‍ෂය හිතනවා රාජපක්‍ෂලාගේ නම කියපුවාම මාධ්‍යයේ ඒ නිවුස් එක දායි කියලා, කරන්න ඕනේ මාධ්‍යයට ඇවිත් දඟලන එක නොවේ නීතිය ක්‍රියාත්මක කරන එක, අපේ නම පාවිච්චි කරලා එහෙම දෙයක් කරනවා නම් බය නැතුව ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මමත් එන්නම් සාක්‍ෂි දෙන්න, අපි එහෙම නැහැ කියලා, උපරිම දඩුවම් දෙන්න නීතියට අනුව. නැතුව පාර්ලිමේන්තුවේ, මාධ්‍ය සාකච්චා වලදී කෑගැව්වට පොලිස් පොතේ ලියවෙන්නේ නෑ,” යැයි නාමල් රාජපක්‍ෂ ඇමැතිවරයා එයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියා.

Leave A Reply

Your email address will not be published.