ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා මාතාව රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම හිමි කර ගත් සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු ක්‍රීඩක පිරිස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී විශේෂ පිළිගැනීමකට ලක් කරනු ලැබූහ. පසුව පැයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩාවේ අනාගත සංවර්ධනය වෙනුවෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා පැරා ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා පහසුකම් සහිත නිශ්චිත පුහුණු මධ්‍යස්ථානයක් දෙන ලෙස ශ්‍රී ලංකා පැරා ක්‍රීඩා සම්මේලනය ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති අතර, දැනට වැඩ නිම කර ඇති රත්නපුර හා ගම්පහ ක්‍රීඩා සංකීර්ණ දෙකෙන් එකක් පැරා ක්‍රීඩාවට වෙන් කිරීම කෙරෙහි ඇමැතිවරයාගේ අවධානය යොමු විය.
එබැවින් පැරා ක්‍රීඩකයන්ට හා පැරා ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීන්ට එම ස්ථාන නිරීක්ෂණය කර, වඩාත් සුදුසු ස්ථානය තමන් වෙත දැනුම් දෙන ලෙස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා මේ සාකච්ඡාවේදී පැවසීය. එමෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය විසින් දැනට සකසා ඇති ඉහළ දක්ෂතා පුහුණු වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට ද ඇමැතිවරයා මෙහිදී එකඟතාව පළ කළේය.