තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය අතර හමුවක්

තායිලන්තය තුළ සිංහල භාෂාව ඉගැන්වීමේ මධ්‍යස්ථානයක්

prayut – Chan – O Cha මැතිතුමන් සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් කලාපයේ ආර්ථික සහ සමාජ කොමිසමේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන සී.ඒ. චමින්දා අයි කොලොන්නේ මහත්මිය අතර හමුවක් බැංකොක්හි පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පසුගියදා (06) සිදුවිය.

සියවස් ගණනාවක් පුරා දෙරට අතර පවතින මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ දීර්ඝ කාලීන බැඳීම මෙන්ම ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායන් තුළ දැඩි ලෙස මුල් බැසගත් අනන්‍යතාවය ද සිහිපත් කළ තානාපති කොළොන්නේ මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ, උණුසුම් සුභාශිංසන තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීය.

අපනයන, ආයෝජන විශේෂයෙන් නව සාමාන්‍ය සන්දර්භය තුළ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම අවධාරණය කළ අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් – චාන් – ඕ – චා ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා වේගවත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, වෙළෙඳ පරිමාව ඉහළ නැංවීමටත් දෙපාර්ශවයටම වාසි සහගත ප්‍රවේශයකින් ආයෝජන වැඩිදියුණු කිරීමටත් පාර්ශ්ව දෙකම සහතික විය.

තානාපතිනිය කොලොන්නේ තායිලන්ත ආයෝජකයින්ට කොළඹ වරාය නගරයේ ආයෝජනයන් කරන ලෙස ආරාධනා කළ අතර ඇගේ ඉල්ලීම මත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් කොළඹ වරාය කොමිසම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග මාර්ගගත හමුවීමක් සිදුකරන ලෙස තායිලන්තයේ ආයෝජන මණ්ඩලයට නියෝග කළේය.

ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිදීමට සහ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ කෘතිම වැසි සෑදීම යන ක්ෂේත්‍රයන්හි උන්නතියට තාක්ෂණික සහයෝගය ලබා දෙන බවට තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහතික විය.

දෙරට අතර භාෂා බාධකය ඉවත් කර පුද්ගලයින් අතර සබඳතාව වැඩදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ තායි භාෂාව ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් හා තායිලන්තය තුළ සිංහල භාෂාව ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට තානාපතිනිය කළ යෝජනාවට තායිලන්ත අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කළේය.

BIMSTEC හි මුලසුන දරන ශ්‍රී ලංකාවේ විශිෂ්ට නායකත්වය ප්‍රශංසාවට ලක් කරමින් අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් – චාන් – ඕ – චා සඳහන් කළේ 5 වෙනි BIMSTEC සමුළුවෙහි සභාපතීත්වය භාරගැනීමට තායිලන්තය බලාපොරොත්තු වන අතර, මෙහි තායිලන්තය ගනු ලබන අනාගත පියවරයන් උදෙසා ශ්‍රී ලංකාවේ උපරිම සහයෝගය ලබාදෙන බවට තානාපතිනිය සහතික විය.

කොවිඩ් වසංගත තත්ත්වය අවම වූ විටෙක ශ්‍රී ලංකාවට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස තානාපතිනිය තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනාවක් කළේය.

අග්‍රාමාත්‍ය උපදේශක Ban Sarn Bunnag, අග්‍රාමාත්‍ය නියෝජ්‍ය මහලේකම් Anuena Burapachaisri, රජයේ ප්‍රකාශක ආචාර්ය Thanakorn, තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු, මැදපෙරදිග සහ අප්‍රිකානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් මෙම අවස්ථාවට සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.