කොරෝනා වසංගතය ජාතිවාදී කිරීමෙන් වළකින්න .. එජාප ය කියයි

මේ එජාප මාධ්‍ය ඒකකය මගින් එවා ඇති මාධ්‍ය නිවේදනයකි.

කොරෝනා වසංගතය ජාතිවාදී කිරීමෙන් වළකින්න.
එක්සත් ව එක්සිත් ව පොදු සතුරා පරාජය කිරීම වෙනුවෙන් කැපවන්නට ජනතාවට ඉඩ දෙමු.

ගෝලීය වසංගතයක් බවට පත් ව ඇති කොරෝනා උවදුරින් රටත් ජනතාවත් බේරා ගැනීමේ වගකීම සියලු පුරවැසියන් හට පැවරී තිබේ.මේ තීරණාත්මක අවස්ථාවේ සියලු ජනතාව එකාවන් ව එක් අරමුණක් වෙනුවෙන් පෙළගැසෙමින් කොරෝනා වසංගයෙන් රට බේරා ගැනීම සඳහා කැපවීම අත්‍යවශ්‍ය ය. නමුත් මේ අවස්ථාවේදී පවා ඇතැම් කණ්ඩායම් ජාතිවාදී සහ ආගම්වාදී අදහස් සමාජයට මුදා හරිමින් කටයුතු කිරීම සැබවින්ම අවාසනාවන්ත තත්වයකි.
පටු ජාතිවාදය සහ ආගම්වාදය සමාජය තුළ ව්‍යාප්ත කරමින් තම සහෝදර ජනතාව පීඩාවට පත්කිරීම හෝ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මිනිසුන් වඩාත් සංවේදී ආගමික කාරණාවන් යොදා ගැනීමට යම් පුද්ගලයන් හෝ කණ්ඩායම් කටයුතු කරන්නේ නම් එය කණගාටුදායක ය.
පසුගිය කාලය මුළුල්ලේ ම ඇතැම් කණ්ඩායම් තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා පටු ජාතිවාදී සහ ආගම්වාදී අදහස් සමාජය තුළ රෝපණය වන්නට ඉඩ දී තම බලලෝභී දේශපාලනය වෙනුවෙන් කටයුතු කළ ආකාරයත් මේ වන විට ද එය ම සිදුකරන්නට උත්සාහ දරන ආකාරයත් රටේ බුද්ධිමත් ජනතාව අවබෝධ කරගත ගනු ඇත.
ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම හෝ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණායක කිහිපයක් හඳුන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය යනු සියලු රටවල ජාති, ආගම් නියෝජනය කරමින් ක්‍රියාත්මක වන සංවිධානයකි. එමෙන් ම මෙම ගෝලීය ව්‍යසන තත්වයේ දී ජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමෙන් තීන්දු තීරණ ගන්නා සංවිධානයකි. එබැවින් එහි නිර්ණායකයන්ට ගරු කිරීමට ඕනෑ ම පිරිසකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුව ද සිදුවේ. සියලු දෙනා මෙම තත්වය අවබෝධ කරගත යුතු ය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට ඕනෑම පිරිසකට අයිතියක් තිබේ. ඒ අයිතියට අප ගරුකළ යුතු නමුදු කිසිදු කණ්ඩායමකට වෙන් වෙන් ව සැළකීමක් මෙම ගෝලීය වසංගත තත්වයන්ට අදාළ ව නොකළ යුතු බව අපගේ ස්ථාවරය යි.
මේ වන විට ඇතැම් කණ්ඩායම් කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට සහනාධාර සැපයීමේ සිට ජනතාවගේ ප්‍රශ්න සමාජයට ඉදිරිපත් කිරීම දක්වා ම තම පටු දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නංවමින් සිටින බව පෙනෙන්නට තිබේ.
වසංගතය ව්‍යාප්තිය පමණක් නොව වසංගතය හේතුවෙන් මිය යන මිනිස්සුන්ගේ ජීවිත පවා මෙම අවස්ථාවාදීන්ගේ ගොදුරු බවට පත්ව ඇත. එක්සත් ජාතික පක්ෂය ලෙස අපි මෙම තත්ත්වය පිළිකුලින් යුතුව බැහැර කරන්නෙමු.
රටේ ජනතාව සිහි බුද්ධියෙන් අවබෝධ කරගත යුතු කරගත යුතු විශේෂ කරුණක් සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කරගනිමු. ඇතැම් කණ්ඩායම් දේශපාලන පටු අරමුණු වෙනුවෙන් ජාතිවාදී කලකෝලාහල නිර්මාණය කිරීම සඳහා පසුගිය කාලයේ කැස කැවූ ආකාරය පිළිබඳත්, ඒ සඳහා විවිධ කණ්ඩායම් පෝෂණය කළ ආකාරය පිළිබඳත් මනා අවබෝධයක් රටේ බුද්ධිමත් ජනතාවට ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. මේ ගතවන සෑම තත්පරයක් ම තීරණාත්මක ය. එබැවින් එම පටු අරමුණු පරාජය කර දැමිය යුතු කාළය දැන් උදා වී ඇත. අප සියලු දෙනාටම සමාජයේත්, අපගේත් යහපැවැත්ම වෙනුවෙන් පැවරී ඇති වගකීම් සහ වගවීම් වෙනුවෙන් කැපවීම අත්‍යවශ්‍ය ය. ඒ වෙනුවෙන් අප එකාවන් ව අත්වැල් බැඳ ගනිමින් කටයුතු කළ යුතු වන්නේම ය.
මෙවන් වටපිටාවක් තුළ සිංහල , මුස්ලිම් , දමිළ කුමන ජන වර්ගයක පුද්ගලයෙකු වුවද, කුමන ආකාරයේ දේශපාලන කණ්ඩායමක් වුව ද, මාධ්‍ය ආයතනයක් වුව ද, පුද්ගල කණ්ඩායමක් වුව ද දේශපාලනික හෝ තම අවස්ථාවාදී අරමුණු වෙනුවෙන් පටු ජාතිවාදී හෝ ආගම්වාදී මතවාද සමාජය තුළ ව්‍යාප්ත කරමින් යම් ජන කොට්ඨාසයක් අපහසුතාවට පත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ නීති වහා ක්‍රියාත්මක කළ යුතුය. එමෙන් ම එක්සිත් ව එක්සත් ව රටෙහි සියලු ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කැපවන ශ්‍රී ලාංකික පුරවැසියන් ඊට එරෙහි විය යුතුය.
පටු ජාතිකත්වය ,පටු ආගම්වාදය වහා ඇවිළී යන සුලු ය. එම ගිනි පුපුරු අවුළුවාලීමට අප කිසිදු කණ්ඩායමකට ඉඩ නොතැබිය යුතුම ය.
කොරෝනා වෛරසය හමුවේ අප මුහුණ දෙන අභියෝගය, සියලු ජාති ආගම් වර්ණ කුල භේද පසෙක ලා ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස එක්සත්ව කටයුතු කරමින් ඊට මුහුණ දෙන මිනිසත්කමේ මහිමය අවබෝධ කරගන්නා ආශිර්වාදයක් බවට පත් කරගැනීමට අප කටයුතු කළයුතුම ය.

මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂය

Leave A Reply

Your email address will not be published.