දිනවල පැතිර යන Covid-19 වසංගත තත්වය නිසාවෙන් එළඹෙන ජුනි මස ආරම්භයේ දී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉදිරි තරග කාලසටහන් සැලසුම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය සඳහා එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් කර ඇත.
මේ වන විට කොරෝනා වයිරසය නිසාවෙන් ICCය විසින් පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලි (ICC Events) රැසක්ම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ඊට අමතරව විවිධ රටවල් විසින් සැලසුම් කර තිබූ ක්‍රිකට් තරගාවලි කිහිපයක්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට ඒ ඒ තරග සංවිධායකයින් පියවර ගෙන ඇත.
එසේම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මාර්තු මස 19 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙක සඳහා එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණි නමුත්, පුහුණුවීම් තරගයක් ක්‍රීඩා කොට දෙවන පුහුණු තරගය අතර මැද නවතා දමා ඔවුන් මෙරටින් පිටව ගියේ ලොව ඇතිව තිබෙන මේ හදිසි ව්‍යසනකාරී තත්වය සැලකිල්ලට ගනිමිනි.
“අපි ඔවුන්ට (දකුණු අප්‍රිකානු කණ්ඩායමට) පුහුණුවීම් සඳහා යම් සැලකිය යුතු මට්ටමක කාලයක් තියලා කියන්න ඕන මේ තරගාවලිය තියෙනවා ද නැද්ද කියලා. දකුණු අප්‍රිකානු කණ්ඩායම ජුනි මාසයේ දී මෙරටට එනවා නම් අපි අප්‍රේල් 15 වැනිදාට කලින් ඔවුන්ට කියන්න ඕන මේ තරගාවලිය තියෙනවා කියලා. ඔවුන්ට එකතකොට ඔවුන්ගේ පුහුණු කටයුතු සඳහා මාසයක වගේ සැලකිය යුතු කාලයක් තිබෙනවා.
නමුත් දැනට ලෝකයේ තිබෙන තත්වය ගත්තහම අපිට මේ තරගාවලිය පෙර සැලසුම් කළ පරිදි පවත්වා ගන්න බැරි වෙයි.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා Daily News පුවත්පත වෙත පවසා තිබේ.
පසුගිය මාසයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාවේ තරග සංචාරයක නිරත වුනු අතර එම තරගාවලිය ද අතර මැද නවතා දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් හට සිදු වූයේ මෙම වසංගත තත්වයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි.
“අපිට අවම වශයෙන් සති 6ක කාලයකටවත් කලින් මේ තරගාවලිය පිළිබඳව කියන්න ඕන, මොකද අපේ ක්‍රීඩකයින් කායික, මානසික ලෙස මේ තරගාවලිය සඳහා සූදානම් වෙන්න ඕන. ලෝක දැන් තිබෙන තත්වය අනුව මූල්‍යමය වශයෙනුත් අපි ඔක්කොටම ඉදිරියේ දී යම් යම් අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙයි කියලා මට හිතෙනවා.” යැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ප්‍රධානී ග්‍රැහැම් ස්මිත් පවසා ඇත.
කෙසේ නමුත් මේ වන විට 45,000කට ආසන්න ප්‍රමාණයකගේ දිවි අහිමි කරමින් පැතිර යන මෙම Covid-19 වසංගත තත්වය නිසාවෙන් ඉදිරියේ දී පැවැත්වීමට තිබෙන බොහෝමයක් ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් තිබේ.
ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ 2020 ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීමට සැලසුම් කර තිබෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව මේ වන විට අවසන් තීන්දුවක් ගෙන නොමැත.
ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරමින් ලොව පුරා ක්‍රිකට් තරගාවලි රැසක් දින නියමයක් නොමැතිව කල් යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ලොව පුරා ක්‍රිකට් ආයතන සඳහා ඉදිරියේ දී යම් යම් මූල්‍යමය අපහසුතාවයන් සඳහා මුහුණ දීමට සිදු වනු ඇති බව ක්‍රිකට් විචාරකයින් මත පළ කොට ඇත.
මූලාශ්‍රය – ThePapare.com