ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප ලබාගැනීමට යුද හමුදාවෙන් පහසුකම්

විශ්‍රාම වැටුප් ලබාදීම සිදුකෙරෙන බැවින් විශ්‍රාමිකයින්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා දිවයින පුරා ඔසුසැල් දින තුනක කාලයක් විවෘතකර තැබීමට රජය පියවර ගත්තා.

ඊයේ (02) මෙන්ම අද (03) දිනයේ ද විශ්‍රාමිකයින් ඖෂධ මිලදී ගැනීම සදහා ඖෂධ වෙළෙදසැල් අසල රැදී සිටින අයුරු දක්නට ලැබුණා. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීම සදහා බැංකු ශාඛා වෙත පැමිණීමට අවශ්‍ය පහසුකම් සළසා දැමට යුද හමුදාව කටයුතු කරන අයුරු අද (03) දිනයේ ද දක්නට ලැබුණා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ විශ්‍රාමිකයින් සෞඛ්‍ය ආරක්ෂිතව තම විශ්‍රාම වැටුප ලබාගැනීමට පැමිණ සිටියේ යුද හමුදාවේ සහාය මතයි. හංවැල්ල ප්‍රදේශයේ විශ්‍රාමිකයින් ද මෙසේ බැංකු ශාඛා වෙත පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා.

වතුකරයේ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීම සදහා ද යුද හමුදාව හා පොලීසිය සහාය ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. බස් රථවලින් මෙම පිරිස බැංකු ශාඛා වෙත රැගෙන ඒමට හා විශ්‍රාම වැටුප් ලබාගැනීමෙන් පසු යළි නිවෙස් කරා රැගෙන යාමට යුද හමුදාව කටයුතුකර තිබෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි.

හෙට වන විට තම විශ්‍රාම වැටුප නිවෙස් වෙත නොලැබුනේ නම් සිය ප්‍රදේශයේ තැපැල් ස්ථානාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් මගින් ඒ බව දැනුම් දෙන ලෙස රජය විශ්‍රාමිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය විශ්‍රාම වැටුප නිවසට ම ගෙන ගොස් භාර දීමේ වැඩපිළිවෙල මේ වන විටත් ආරම්භ කර ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ.

බලංගොඩ ප්‍රදේශයේ විශ්‍රාමිකයින්ට ද තම විශ්‍රාම වැටුප ලබා ගැනීමට යුද හමුදාව පහසුකම් සලසා දුන්නා. ප්‍රදේශයේ ජ්‍යේෂ්ඨ පුරවැසියන් ඒ සම්බන්ධයෙන් යුද හමුදාවට සහ රජයට සිය ප්‍රසාදය පළ කළා.

Leave A Reply

Your email address will not be published.