උපුල් තරංගත් කොරෝනා සටනට එක්වෙයි

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද වසංගතයක් ලෙස පැතිරෙමින් පවතියි. මෙම තත්ත්වය හමුවේ මෙරට වැසියන් ආරක්ෂා කර ගැනීමට රජය විසින් තාවකාලික ඇඳිරි නීති තත්ත්වයක් ශ්‍රී ලංකාව පුරා පනවා ඇත. එලෙස ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය හමුවේ එදිනෙදා වැටුප් ලබන විශාල පිරිසක් අසරණ වී ඇත.

ශ්‍රී ලාංකේය ජනතාව සෑමවිටම අන්‍යන්ට උදව් උපකාර කරන පිරිසක් බවට ප්‍රචලිත කරමින් මෙරට බොහෝදෙනා එලෙස අසරණව ඇති ජනතාවට උදව් උපකාර කිරීමට එක්ව සිටියහ. 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් හා හිටපු ක්‍රීඩකයන් රැසක් ද මෙම මහගු කර්තව්‍යය සඳහා එක්ව සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක හා ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු උපුල් තරංග ද COVID-19 සටනට එක්ව සිටින්නේ මෙම අසීරු අවස්ථාවේ දී අසරණව සිටින ජනතාවට උපකාරි කිරීමට එක්වෙමිනි.

මෙම ජනතාව සඳහා එදිනෙදා පරිහරණයට අවශ්‍ය වියලි ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කිරීමට උපුල් තරංග තීරණය කර තිබේ. ඒ අනුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති, අඩු ආදායම් ලාභී පවුල් රැසක් සිටින කොණ්ඩගල ප්‍රදේශයේ අසරණ පවුල් 100ක් සඳහා මෙලෙස භාණ්ඩ ලබා දීමට ඔහු කටයුතු කළේය.

ශ්‍රී ලංකාව තුළ අසරණ ජනතාව සඳහා ආධාර උපකාර කිරීමට මෙලෙස ක්‍රීඩකයන් බොහෝදෙනෙකු එක්ව සිටීම ඉතාමත් සංවේදී හා වටිනා පණිවිඩ රැසක් ලොවට කියා දීමට සමත් වී තිබේ.

මෙලෙස COVID-19 සටනට සහාය දැක්වීම සඳහා හිටපු ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, රොශාන් මහානාම සහ චමින්ද වාස් වැනි ලෝක පූජිත ක්‍රීඩකයන් රැසක් එක්ව සිටියහ. 

මේ අතර වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ජාතික රෝහල් සඳහා අවශ්‍යව තිබූ උපකරණ රැසක් පරිත්‍යාග කිරීමට පසුගියදා එක්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මෙම COVID-19 මර්දනය සඳහා වන අරමුදල සඳහා මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබිණි.

මූලාශ්‍රය – ThePapare.com

Leave A Reply

Your email address will not be published.