මෙම වසරේ ජූලි මාසයේ ජපානයේ ටෝකියෝ නුවර දී පැවත්වීමට නියමිතව තිබූ 32 වන ගිම්හාන ඔලිම්පික් උළෙල, පවතින මාරාන්තික කොරෝනා වෛරස තත්වය මත කල් දැමීමට පසුගියදා තීරණය කරන ලදි.
අන්තර්ජාතික ජාතික ඔලිම්පික් කමිටුව හා ජපාන ඔලිම්පික් බලධාරීන්ගේ තීරණයන්ට අනුව තරගාවලිය අවලංගු නොකර වසරකින් කල් දැමීමට තීරණය කළ අතර එය නැවත පැවත්වීමේ දිනයන් පසුගිය දා (30) නිවේදනය කරන ලදි. ඒ අනුව ඔලිම්පික් උළෙල ලබන වසරේ (2021) ජූලි මස 23 වනදා සිට අගෝස්තු මස 08 දක්වා පැවත්වීමට නියමිතව ඇත.

ඔලිම්පික් උළෙලට සමගාමීව මෙම වසරේ පැවත්වීමට නියමිතව තිබූ පැරාලිම්පික් උළෙල ද ලබන වසරේ අගෝස්තු මස 24 වනදා සිට සැප්තැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් පැවසුවේ ඔවුන්ට මෙම අභියෝගය ජයගත හැකි බවට තමන් විශ්වාස කරන බවයි.
“මට එය විශ්වාසයි, ජපාන ඔලිම්පික් කමිටුව සහ ජපාන රජය ඇතුළු සියලුම පාර්ශවයන් සමඟ එකට වැඩ කිරීම මඟින් අපට මෙම අභියෝගය ජයගත හැකි බව.” යයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවයන්හි සෞඛ්‍යාරක්ෂාව ගැන සිතමින් මෙම කල් දැමීම තීරණය කළ බවට සංවිධායකයින් පවසන අතර මෙම කල් දැමීම නිසාවෙන් 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ද වසරකින් කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.
මෙම මාරාන්තික කොරෝනා වෛරසය නිසාවෙන් අද දින වන විට ලොව පුරා පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මිය ගොස් තවත් පුද්ගලයින් 740,000කට අධික පිරිසක් රෝගීතත්වයට පත්ව ඇත.