A/L කල් දමා ඇති බවට සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර අසත්‍යයයි

2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික ප‍ත්‍ර උසස් පෙළ විභාගය  කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරයි.

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ රටක් ලෙස මුහුණ දෙමින් සිටින ඉතා තීරණාත්මක මේ මොහොතේ මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශවල නොයෙදෙන ලෙස සියලු පාර්ශ්වයන් හට දන්වා සිටින බව මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුර විස්තර පහතින් දැක්වෙයි.

“මුළු ලොව ම ඛේදජනක ඉරණමකට ඇද දමා ඇති නව කොරෝනා (COVID -19) ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අප රටක් හා රජයක් ලෙසින් වඩාත් විද්‍යාත්මකව හා ධෛර්‍යයසම්පන්නව මුහුණදෙමින් සිටින ඉතා තීරණාත්මක මේ මොහොතේ මෙවැනි  වගකීම් විරහිත ප්‍රකාශවල නොයෙදෙන ලෙස සියලු පාර්ශ්වයන් හට දන්වා සිටින අධ්‍යාපන අමාත්‍යාංශය, සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලා  සිටින්නේ රජය විසින් නිකුත් කරන නිල ප්‍රකාශ සහ පුවත් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසට ය.“

Leave A Reply

Your email address will not be published.