ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක්

අත්‍යවශ්‍ය සේවා, ඖෂධ හා භාණ්ඩ සැපයීම සහ ආහාර නිෂ්පාදනය විධිමත් කර ගැනීම සඳහා ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සි. ඩී. වික‍්‍රමරත්න උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාශ භාර නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙතයි මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබෙන්නේ.

අත්‍යවශ්‍ය සේවා අවහිරයකින් තොරව පවත්වාගෙන යාමටත්, ආහාර හා ඖෂධ සැපයුම් හිඟයකින් තොරව සිදුකිරීමටත් ආහාර නිෂ්පාදනය දිරිමත් කිරිමටත් ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කරන ලෙස මීට පෙර ද වරින්වර උපදෙස්දී තිබුණු බව මෙහිදී සිහිපත් කර තිබෙනවා.

එහෙත්, උපදෙස් නිසි පරිදි කි‍්‍රයාත්මක වී නොමැති බව ද ඇතැම් පොලිස් ස්ථාන ඉදිරිපිට ඇඳිරි නීති බලපත‍්‍ර ලබාගැනීම සඳහා දිගු පෝළිම් පවතින බව ද වාර්තා වී තිබෙන බවයි වැඩබලන පොලිස්පතිවරයා පවසන්නේ. එවැනි තත්ත්වයක් ඉදිරියේදී ඇති නොවීම සඳහා සෑම පොලිස් ස්ථානයකම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, ස්ථානාධිපතිවරයා හෝ වෙනත් වගකිව යුතු නිලධාරියෙකු අදාළ ආයතන වෙත පෞද්ගලිකවම ගොස් එහි සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සේවක සංඛ්‍යාව හඳුනාගෙන සේවකයින් වෙන වෙනම ඇඳීරි නීති බලපත‍්‍ර නිකුත් කළ යුතු බව ද මෙම උපදෙස් මාලාවේ දැක්වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි සමාගම, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කළ යුතු බවට සඳහන් කර ඇති ආයතන කිහිපයක්. ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ලංකා ගමනාගමන මණ්ඩලය, ශ‍්‍රී ලංකා දුම්රිය සේවය, ශ‍්‍රි ලංකා තැපැල් සේවය, රජයේ මුද්‍රණාලය, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන සැපයීමේ සේවා සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන වෙනත් ආයතන ද ඒ අතර වනවා.

පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ට සහ ඒවායේ සේවකයින්ට ද, ශ‍්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, සියලූ වාණිජ බැංකු සහ රක්ෂණ ආයතනවල සේවකයින්ට ද සුදුසු පරිදි ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කළ යුතු බවයි මෙහි දක්වා තිබෙන්නේ.

පිරිසිදු කිරීමේ හා සනීපාරක්ෂක සේවා සඳහා අවසර දී ඇති සියලූ ආයතනවල සේවකයින්ට, රජයට අනුබද්ධ හෝ පෞද්ගලික ආරක්ෂක සමාගම්වල සේවකයින්ට ලංකා සතොස හා සෙසු සුපිරි වෙළඳසැල්වල කාර්යය මණ්ඩලයට ද ආහාර හෝ භාණ්ඩ ප‍්‍රවාහන වාහන හා රියදුරන්ට ද ඇඳීරි නීති බලපත‍්‍ර ලබාදිය යුතු බව මෙම උපදෙස් මාලාවේ දැක්වෙනවා.

බේකරි ආහාර හෝ වෙනත් ක්ෂණික ආහාර නිවෙස්වලට බෙදා හරින තැනැත්තන්ට ද වී, එළවළු, පළතුරු, තේ, රබර්, පොල්, සුළු අපනයන භෝග හෝ පැළ තවාන් ආදී කෘෂිකර්ම කටයුතු සිදුකරන සහ ඒ ආශ‍්‍රිත බීජ, පැළ, පොහොර හෝ රසායනික ද්‍රව්‍ය හෝ නිෂ්පාදනය කරන හා බෙදාහරින තැනැත්තන්ට ද ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කළ යුතුයි.

මස්, මාළු, කිරි, බිත්තර හා වෙනත් සත්ත්ව ආශ්‍රිත නිෂ්පාදනය කරන හෝ ප‍්‍රවාහනය කරන තැනැත්තන්ට ද ඇඳීරි නීති බලපත‍්‍ර නිකුත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා මෙමගින් උපදෙස් දී තිබෙනවා. ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමත කර ඇති රජයේ ඔසුසැල්, ෆාමසි හා බලයලත් වෙනත් ආයතනවල සේවකයින්ට ද ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කරන ලෙස එහි සඳහන්.

අදාළ ඇඳිරි නීති බලපත‍්‍රයේ ආරම්ක ස්ථානය, ගමනාන්තය හා බලපත‍්‍රය නිකුත් කිරීමට හේතු පැහැදිළිව සඳහන් කරන ලෙස ද උපදෙස් දී තිබෙනවා.

කෙසේවෙතත්, පොලිස් සේවයේ, ති‍්‍රවිද හමුදාවන්හි හෝ සෞඛ්‍ය සේවයේ යෙදී සිටින්නන්ට ඇඳිර නීති බලපත‍්‍රයක් අවශ්‍ය නොවන අතර රාජකාරී හැඳුනුම්පත ඔවුන්ට ඇඳිරි නීති බපත‍්‍රයක් ලෙස යොදා ගත හැකි බව ද මෙහි සඳහන්.

Leave A Reply

Your email address will not be published.