නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු බැගින් හදුනාගැනීම හේතුවෙන් අකුරණ, අලවතුගොඩ, තෙලඹුගහවත්ත ගම්මානය සහ පුත්තලම, කඩයන්කුලම ප‍්‍රදේශයේ ගම්මානයක් වසා දැමීමට ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
අකුරණ ප‍්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පුතා, දියණිය සහ බෑනා ද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට අද (29) ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ නූර් මොහොමඞ් නිස්තාර් නම් අකුරණ ප‍්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ආගිය තැන් පිළිබදවද මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඉකුත් 15 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මොහු සමග මෙරටට පැමිණි ඔහුගේ මිතුරා නිරෝධායනය සඳහා යොමුව ඇති බව ද වාර්තා වුණා.
නිරෝධායනයට යොමු නොවූ මෙම පුද්ගලයා ගෙලිඔය ප‍්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකටද ගොස් ඇති බවටයි පොලීසියට තොරතුරු වාර්තා වී ඇත්තේ. එමෙන්ම ඔහු ගම්පොල පාවහන් අලෙවිසැලකට ද ගොස් ඇති බව සිදුකළ පරීක්‍ෂණවල දී අනාවරණයවී තිබෙනවා. වෛද්‍යවරුන්ට තොරතුරු වසන් කළ මෙම පුද්ගලයා ඊයේ (28) රෝහල්ගතවීම සදහා මහනුවර රෝහලට පැමිණ ඇත්තේ යතුරු පැදියකින්. මොහු ව්‍යාපාරිකයෙකු බව ද අනාවරණ වී තිබෙනවා.
ඔහු පදිංචිව සිටි අකුරණ, අලවතුගොඩ, තෙලඹුගහවත්ත ප‍්‍රදේශයේ පවුල් 347ක් වෙසෙන අතර මේ වනවිට එම පවුල්වලට අයත් සියළු දෙනා දින 14ක් සිය නිවෙස්වල නිරෝධායනයට ලක් කිරීමට ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබෙනවා. එම ප‍්‍රදේශයේ පොලිස් මාර්ග බාධක 10ක් යොදා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ප‍්‍රදේශයේ ජංගම මුර සංචාර ද ආරම්භ කර ඇති බවයි ආරක්‍ෂක අංශ පැවසුවේ.
මේ අතර පුත්තලම, කඩයන්කුලම ප‍්‍රදේශයේ ගම්මානයක කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හදුනාගැනීමත් සමග වසාදැමුණු එම ගම්මානයේ සිටි පුද්ගලයින් නිරෝධායනය සදහා ප‍්‍රදේශයේ පාසලක් වෙත යොමු කර තිබෙනවා.