ඉදිරි දින 10 තීරණාත්මකයි!

සෞඛ්‍ය උපදෙස් අකුරට ම පිළිපැදීමට ශ්‍රී ලාංකික ජනතාව පියවර නොගතහොත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තියේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ සමාජ දුරස්ථකරණය අසාර්ථකව සිදුකළ බටහිර රටවල දත්ත සැලකීමේදී අද (25) සිට අප්‍රේල් මස 7 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

බලධාරීන් විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් එම කාලය තුළ සතුටුදායක ප්‍රවණතාවයක් අපේක්ෂා කළ හැකි බව හරිත අලුත්ගේ මහතා පවසයි.

පුරවැසියන්ගේ වගකීම් විරහිත හැසිරීම් මත සෞඛ්‍ය සේවකයින් නිරෝධායනයට ලක් කිරීමට සිදු වුවහොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ප්‍රමාණවත් නොවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

පවතින තත්ත්වය තුළ ජන ජීවිතය පවත්වාගෙන යාමේ දී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

………………………………………………………………………

ඒ් අනුව අද (25) සිට ඉදිරි දින දහය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රටට තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇතැයි තොරතුරු අනාවරණ වේ. ඒ, නිරෝධායන ක්‍රියාවලියේ නිරත 23,000ක් පමණ වූ පිරිසකගේ තත්ත්වය ඉදිරි කාලයේදී දැනගැනීමට හැකිවීමත් සමඟයි.

මෙවන් පසුබිමක අද (25) දිනයට අදාළව පස්වරු 4 යි 30 වන විට කොවිඩ් 19 ආසාධිත වූ කිසිදු රෝගියෙක් මෙරටින් වාර්තා නොවීම විශේෂත්වයක්.

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට දෙකක් සඳහා රෝග ලක්ෂන ඉක්මනින් පෙන්නුම් කළත් සියයට 98ක රෝග ලක්ෂන පෙන්නුම් කරන්නේ, දින 11ත් 14ත් අතර කාලය තුළයි.

ඒ අනුව රටපුරා පුද්ගලයින් 23,000ක් ස්වයං නිරෝධායනය සඳහා මේ වන විට යොමුකර ඇත්තේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය සහ හමුදා අධීක්ෂණයෙන්.

එමෙන්ම නිරෝධායනයේ යෙදෙන පුද්ගලයින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිටුපස බුද්ධි අංශ ද නිරන්තරයෙන් ක්‍රියාත්මක වේ.

එමෙන්ම බුද්ධි අංශ වෙත දැනටමත් වාර්තා වූ සිදුවීම් අතර ජන සමූහයන් එක් වූ ස්ථාන තුනක් හා සිදුවීම් 04ක් පිළිබඳව අධීක්ෂණය කෙරෙමින් පවතියි.

ඉන් පළමු වැන්න මාර්තු 12වනදා සිට 14වනදා දක්වා කොළඹ රාජකීය සහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති මහා ක්‍රිකට් තරගයයි.

ඊට හේතුව එම තරගය නැරඹූ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුණාගැනීමයි.

ඔහු සමග ඇසුරු කළ කිසියම් පුද්ගලයෙකුට කොරෝනා වැළදී ඇත්නම් එහි රෝග ලක්ෂණ පෙන්නුම් කීරීමට ඇති අවසන් දිනය ලබන 28 වැනිදාට යෙදී තිබේ.

කොළඹ ජාමි-උල්-අල්ෆාර් ඉස්ලාම් දේවස්ථානයේ මාර්තු 13 වනදා පැවැති යාඥා මෙහෙය දෙවැනි ජන සමූහය එක් වූ ස්ථානය ලෙස බුද්ධි අංශ සලකනු ලබයි.

ඊට සහභාගීවූවන්ට දින 14ක කාලයක් නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති අතර ඔවුන්ගේ නිරෝධායනය කාලය මාර්තු 20 වැනිදා අවසන්වීමට නියමිතයි.

ඉන්අනතුරුව යාපනයේ අරියාලෙයි හි ෆිලඩෙල්ෆියා දේවස්ථානයේ මාර්තු මස 15වනදා පැවැති දේව මෙහෙය
තෙවන ජන සමූහය රැස් වූ ස්ථානය ලෙස හඳුනාගෙන තිබේ.

ඊට සහභාගි වූවන් අතර කොරෝනා අසාදිතයින් සිටීනම් ඔවුන්ගේ රෝග ලක්ෂණ 29 වැනිදා වන විට පෙන්නුම් කළ යුතු වේ.

ජන සමූහයන් වාර්තා වූ සිව්වන සිද්ධිය වන්නේ ද කොළඹ රතු පල්ලියේ මාර්තු 20 වැනිදා දේව මෙහෙය ය.

ඊට සහභාගී වූවන්ට වෛරසය වැළඳී ඇත්නම් එම රෝග ලක්ෂණ ඔවුන්ට පෙන්නුම් කරන අවසන් දිනය වන්නේ අප්‍රෙල් මස තුන්වනදායි.

ඒ අනුව ඉදිරි දින දහයක කාලය ඉතාමත් තීරණාත්මක බව බුද්ධි අංශ හඳුණාගෙන තිබේ.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට රෝහල් 21 ක ප්‍රතිකාර ලබන පිරිස 252ක්.

ඒ අතර විදේශිකයින් තිදෙනෙකු ද වේ.

මේ වන විට වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 88ක්.

තවත් රෝගීන් දස දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ සහ එක් රෝගියෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු සම්පූර්ණයෙන් සුවය ලබා සිය නිවස වෙත ගොස් තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ට අනුව රෝහල්ගතව සිටි විදේශිකයින් පස්දෙනෙකුගෙන් දෙදෙනකු කොරෝනා ආසාදනය නොවීම නිසා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

මේ අතර ඊයේ දිනයේදී අලුතින් හඳුනාගැනුණු නව කොරෝනා ආසාදිතයින් ගණන 05ක්.

ඔවුන්ගෙන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද කොළඹ, කළුතර සහා පුත්තලම යන දිස්ත්‍රික්කවලින් රෝගීන් තිදෙනෙකු ද සොයාගෙන තිබේ.

මේ අතර කොරෝනා වැළදී ඇති බවට මාතර ප්‍රදේශයෙන් සොයාගත් 26 හැවිරිදි කාන්තාව කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ හෙදියක්.

ඇය පසුගිය 14වනදා මාතර නාවිමන ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගොස් තිබේ.

මාර්තු 20 වැනිදා ඇය නිවසේ සිට ත්‍රිරෝද රථයකින් මාතරට ගොස්  අධිවේගී මාර්ගයේ බස් රථයකින් කොළඹට පැමිණ ඇත්තේ සිය පියා සමගයි.

ඇය බස් රථයට ගොඩවීමට පෙර මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ ටී එම් යන්ත්‍රයකින් මුදල් ද ලබාගෙන තිබේ.

මේ වන විට ඇය ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.

අප මේ සම්බන්ධයෙන් අදාළ හෙද නිලධාරිනියගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ, සිය පියා සහ වාට්ටුවේ සේවය කළ සෙසු හෙදියන් ද නිරෝධායනයට යොමුකර ඇති බවයි.

මේ අතර කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ යුද හමුදා කර්නල්වරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මේ අතර මෙරට කොරෝනා රෝගීන්ගෙන් සියයට තිස් තුනයි දශම තුනක් වයස අවුරුදු 41ත් 50ත් අතර වයසේ පසුවන්නන්.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ, කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 68ක් පිරිමි පුද්ගලයින් වන අතර සියයට 32ක් කාන්තාවන් බවයි.

Leave A Reply

Your email address will not be published.