නව කොරෝනා වෛරසය හේතුවෙන් පීඩා විඳින සංඝරත්නයට අත දෙන්න සුදානම් – ජාතික විද්වද් භික්ෂු සංසදය

නව කොරෝනා වෛරසය හේතුවෙන් පිඩා විදින විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් අත දෙන්න සුදානම්. ජාතික විද්වද් භික්ෂු සංසදය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කළ සාකච්ඡාවෙන් අනතුුව මෙම තීීරණයට එළඹ ඇති බවත් එබැවින් එබඳු විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් 0712 178 873 දුරකතන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් මගින් පහත සඳහන් තොරතුරු ලබාදීමට කාරුණික වන්න.

ප්‍රවෘත්ති නිවේදනයයි

01 මුළු මහත් ලෝකයට ම අභියෝගයක් වූ නව කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම හා වැළැක්වීම සඳහාත් සාමාන්‍ය ජනජීවිතය හා රටේ ආර්ථිකය යථා පරිදි පවත්වාගෙන යාම සඳහාත් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය දිවාරාත්‍රී නොබලා ගන්නා වූ ප්‍රයත්නය අතිශයින් ම ප්‍රශංසනීය ය.

02 මෙම ආපදාපන්න අවස්ථාවේ දී වෛද්‍යවරුන් ඇතුළු රෝහල් හා සෞඛ්‍ය කාර්යාංශ, ත්‍රිවිධ හමුදාව හා පොලීසියත් අත්‍යවශ්‍ය සේවා සහ සැපයුම් සේවාවන්හිත් කැපවීම බෙහෙවින් ම අගය කළ යුතු ය.

03 අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහාසංඝ රත්නය රජය විසින් ගනු ලබන තීන්දු තීරණවලට අනුගත වෙමින් පරිත්‍රාණ ධර්මදේශනාවන් පවත්වමින් කරනු ලබන ආශීර්වාද අවශ්‍ය ම වූවක් බව ද සිහිපත් කරමු.

04 සුපුරුදු දෛනික ජීවිතය හා පහසුකම් පසෙක ලා රජයේ නියමයන්ට අනුගත ව ව්‍යසනය දුරු කරගැනීම සඳහා සහයෝගය දක්වන පොදු මහජනතාව ද සිය ජාතික වගකීම ඉටු කරති. මෙබඳු අවස්ථාවක දී අපගේ සංස්කෘතිය විසින් උගන්වා ඇති “පිළිහුඩුවලින් වැළකීම” “පේවීම” වැනි තහංචි, ආකල්ප හා ප්‍රතිපත්ති වෙත අවධානය යොමු කරවන අතර තරගකාරී අධිපරිභෝජනවාදී ආකල්පයෙන් තොර ව සිව්පසය පිළිබඳ බෞද්ධ ආකල්ප තුළ රැඳෙමින් කටයුතු කරන ලෙස අනවශ්‍ය තරගයක යෙදෙන සුලු පිරිසගෙන් ඉල්ලා සිටිමු. “රක්තාක්ෂි ව්‍යසනය” “බැමිණිටියාසාය” ආදි වසංගත හා ව්‍යසනයන්ට මුහුණ දී රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් සුරක්ෂිත කරගත් අපි තවදුරටත් දූරදර්ශී ව හා වගකීමෙන් කටයුතු කළ යුතු ව ඇත.

05 මෙම ආපදාපන්න අවස්ථාවේ දී සිව්පසය ඇතුළු යැපීම් පිළිබඳ යම් දුෂ්කරතාවකට පත් විහාරස්ථාන, පිරිවෙන්, සේනාසන පිළිබඳ ව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ද විමසන ලදි.
එබැවින් එබඳු විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් 0712178873 දුරකතන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් මගින් පහත සඳහන් තොරතුරු ලබාදීමට කාරුණික වන්න.

  •  විහාරස්ථානයේ/පිරිවෙනේ/සේනාසනයේ නම සහ ලිපිනය:-
  • ප්‍රධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නම සහ දුරකතන අංකය:-
  • ග්‍රාම නිලධාරී කොට්ටාසය සහ ග්‍රාම නිලධාරීගේ නම සහ දුරකතන අංකය:-
  • ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය:-

අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සපයාදීම/සපයා දීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කිරීම ජාතික විද්වද් භික්ෂු සංසදය විසින් කරනු ලැබේ. ඉහත සඳහන් තොරතුරු නිවැරැදි ව ලබාදීමෙන් සහයෝගය ලබාදීමට ගතවන කාලය අවම කරගත හැකි බව කරුණාවෙන් සලකනු මැනවි.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජය විසින් ගනු ලබන තීන්දු-තීරණ ජනතාවගේ ආරක්ෂාව උදෙසා ඉතා වගකීමෙන් හා දුරදක්නා නුවණින් යුක්ත ව ගෙන ඇති බැවින් ඊට උපරි ම සහාය ලබාදෙන මෙන් ගරුතර මහාසංඝ රත්නයෙන් හා පොදු මහ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්ථවිර

(සංවිධායක මණ්ඩලය වෙනුවෙන්)

Leave A Reply

Your email address will not be published.