පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සිකුරාදා (20) අනාවරණය කළ තරග පාවාදීමේ චෝදනා නිසා පාකිස්තාන පිතිකරු උමර් අක්මාල් හට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම්වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩකයෙකු මේ කරුණ උදෙසා වරදකරු වුවහොත් ඔහුට දඬුවම් වශයෙන් මාස හයක තරග තහනමක් හෝ ජීවිතාන්තය දක්වා තරග තහනමක් නියමවනු ඇත.
උමාර් අක්මාල් හට මෙම චෝදනාවලට පිළිතුරු ලබා දීම සඳහා දින 14ක් ලබා දී තිබෙනවා. උමර් අක්මාල් විනය කරුණු නිසා කිහිප වතාවක් දඬුවම් ලැබූ ක්‍රීඩකයෙක්. 2014 දී රථවාහන පාලකයෙක් සමග රණ්ඩුවක් ඇති කර ගැනීම නිසා ඔහු සිරගත වුණු අතර පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු වූ මිකී ආර්තර් සමඟ ඇති කරගත් රණ්ඩුවක් නිසා ඔහු 2017 දී මාස 3ක තරග තහනමකට ද ලක් වුණා. පසුගිය මාසයේ දී ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙකුට අපහාස කිරීම නිසා ඇති වූ ගැටලුවක් ඔහු සමාදානයට පත් කර ගත්තා.
අතිදක්ෂ නමුත් විනය ගරුක නොවන ක්‍රීඩකයෙකු ලෙස නමක් දිනාගෙන සිටින අක්මාල් ටෙස්ට් තරග 16ක්, එක්දින තරග 121ක් හා විස්සයි විස්ස තරග 84ක් ක්‍රීඩා කර තිබෙන්නේ 2009 වසරේ සිටයි.
මාස හතරකට පෙර ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලියේ තරග දෙකක් ක්‍රීඩා කළ අතර ඒ තරග දෙකේ දී ම ඔහු ලකුණු රැස් කරන්නට සමත් වුනේ නැහැ. මින් පෙර ද පාකිස්තානය තුල තරග පාවාදීමේ චෝදනා රැසක් වාර්තා වුණු අතර 2017 දී ශර්ජිල් ඛාන් හා ඛලිඩ් ලතිෆ් හට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී එල්ල වුණු තරග පවාදීමේ චෝදනා නිසා ඔවුන්ට වසර 5ක් ක්‍රිකට් අහිමි වුණා.
– ThePapare.com