සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට තාක්ෂණ සහය ලබාදීමට Bileeta සහ USAID CATALYZE Sri Lanka Private Sector Development (PSD) එක්වෙයි

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට තාක්ෂණ සහය ලබාදීම

විශේෂ ආධාර වැඩසටහනක් හරහා ශ්‍රී ලංකාවේ නිසි සුදුසුකම් සපුරාලන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ERP (Enterprise Resource Planning) විසඳුම් ලබාදීම සඳහා, මෙරට ප්‍රමුඛතම ERP විසඳුම් සමාගමක් වන Bileeta සහ USAID CATALYZE Sri Lanka Private Sector Development (PSD) එක්ව කටයුතු කරමින් සිටී. මූල්‍ය ආයතන, සාමූහික ව්‍යාපාර, වෘත්තීය සංගම් සහ ක්ෂේත්‍රය සමග සම්බන්ධතා පවත්වාගෙන යන වෙනත් පාර්ශ්වයන් සමග ගොඩනංවා ගන්නා හවුල්කාරීත්වයන් යටතේ මෙම විසඳුම් ලබාදීම සිදුකෙරේ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට සාර්ථක ලෙස දියුණුව කරා යාමට මංපෙත් විවර කරදීම USAID CATALYZE Sri Lanka Private Sector Development (PSD) Activity PSD හි අරමුණ වී තිබේ. ශ්‍රම බලකාය තුළ සිටින කාන්තාවන් සවිබල ගැන්වීම, MSME කාණ්ඩයේ ව්‍යාපාර වල ශඛ්‍යතාවන් හා තරගකාරීත්වයන් නැංවීම තුළින් ආර්ථිකය සවිබල ගැන්වීම, එම කාණ්ඩයේ ව්‍යාපාර වලට මූල්‍ය පහසුකම් ලබාගැනීමට ඇති අවස්ථා වැඩිකිරීම සහ එම ව්‍යාපාර වලට අභියෝග වලට මුහුණ දීමට ඇති හැකියාව වැඩි කිරීම ආදිය මීට ඇතුළත් වී ඇත.

මෙරට ව්‍යාපාර අතරින් 52% ක්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන නමුත් තාක්ෂණික දැනුම හා හැකියාවන් සීමිත වීම නිසා එම ව්‍යාපාර වලට දේශීය හා ජාත්‍යන්තර තරගකාරීත්වයට මුහුණ දෙමින් ඉදිරියට යාම දුෂ්කර වී තිබේ. මෙම හවුල්කාරීත්වය ඔස්සේ එම ව්‍යාපාර වලට විකුණුම් සහ ඉන්වොයිසි කටයුතු, තොග කළමනාකරණය, ගිණුම් හා මූල්‍ය කටයුතු, මිලදී ගැනීම් සහ වාර්තාකරණය යනාදී අංශ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට අත්වැලක් හිමිවනු ඇත.

මෙම හවුල්කාරීත්වයේ ආරම්භය වෙනුවෙන් Bileeta සහ PSD අතර හමුවක් පසුගියදා Aitken Spence Towers හි පිහිටි USAID CATALYZE Sri Lanka කාර්යාලයේදී පැවැත්විණි. PSD Activity Team Lead හුවාන් ෆොරේරෝ සහ Bileeta ප්‍රධාන විධායක නිලධාරී සංජී ද සිල්වා මෙම හමුවට සහභාගී වූහ.

“තාක්ෂණය නිසා ව්‍යාපාර වල ඉක්මන් දියුණුවක් ඇතිවෙන ආකාරය අප දැක තිබෙනවා. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල දියුණුව ඉලක්ක කරගත් මෙවැනි වැඩසටහනක් වෙනුවෙන් PSD සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් ගෞරවයක්. අන් කවරදාටත් වඩා දැන් මෙම ව්‍යාපාර වලට අපගේ සහයෝගය අවශ්‍යයි. එබැවින් මෙම ව්‍යාපාර වෙනුවෙන්  ERP විසඳුම් හඳුන්වා දීමට හැකිවීම මහත් සතුටක්.” සංජී ද සිල්වා මහතා පැවසී ය.

“තිරසාර ලෙස වේගවත් දියුණුවක් කරා යාමට පෞද්ගලික අංශයට අවස්ථාව සලසා දීම වැදගත් බව USAID Catalyze විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අප Bileeta සමග හවුල්කාරීත්වයකට එළඹෙමින්, රටේ මූල්‍ය ආයතන සහ මහා පරිමාණ සමාගම්ද සම්බන්ධ කරගෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ඉහළම තලයේ ERP විසඳුම් ලබාදීමේ වැඩසටහනක් දියත් කළා.” PSD හි Activity Team Lead හුවාන් ෆොරේරෝ මහතා පැවසී ය.

 

 

Bileeta පිළිබඳව

Bileeta යනු සම්මානලාභී තාක්‍ෂණ සමාගමක් වන අතර එය සියල්ලන්ට වඩාත් හොඳ අත්දැකීමක් සහතික කිරීම කෙරෙහි අවධානය යොමුකරමින්, විවිධ කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා ව්‍යවසාය විසඳුම් නිර්මාණය කරයි. අනුවර්තනය වීමේ හැකියාව, බෙදාහැරීමේ වේගය, ගුණාත්මකභාවය සහ භාවිතයේ පහසුව යනාදියට මුල්තැන දෙමින් එම සමාගම UNDP, USAID, Chemonics සහ The Global Fund වැනි ගෝලීය සංවිධාන සමඟ එක්වී, රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල දේශීය සහ ජාත්‍යන්තර සමාගම් හා ආයතන වලට ලෝක මට්ටමේ විසඳුම් ලබා දෙයි.

 

USAID CATALYZE Private Sector Development Activity පිළිබඳව

The USAID CATALYZE Private Sector Development (PSD) Activity යනු ශ්‍රී ලංකාවේ ඉහළ වර්ධන සම්භාවිතාවක් සහිත ක්ෂේත්‍ර වල ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීම ඉලක්ක කරගත් පස් අවුරුදු වැඩසටහනකි. මෙහිදී සංචාරක කර්මාන්තය, තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය, ඇඟලුම් කර්මාන්තය, වාණිජ මට්ටමේ සත්කාර සහ ආහාර සැකසීම යන අංශවලට මුල්තැනක් හිමිවන අතර, ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා කාන්තාවන්ගේ හිමිකාරීත්වය යටතේ පවතින සහ කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුකෙරේ.

 

ඡායාරූපය:

USAID CATALYZE PSD Activity Team Lead හුවාන් ෆොරේරෝ මහතා Bileeta (Pvt) Ltd. හි ප්‍රධාන විධායක නිලධාරී සංජී ද සිල්වා මහතා සමග ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව

(වමේ සිට) බර්නාඩ් අරුලානන්දම් (තාක්ෂණික විසඳුම් කළමනාකරු – SME Competitiveness – PSD), ඉනුරි ඉලේපෙරුම (අංශ කළමනාකාරිනී – SME Competitiveness – PSD), ජූඩ් ප්‍රනාන්දු (අධ්‍යක්ෂ – මූල්‍ය පහසුකම් – PSD), ඩැල්රීන් සෙනෙවිරත්න (Deputy Field Team Lead – PSD), සංඛ වීරසිංහ (ප්‍රධාන තාක්ෂණ නිලධාරී – Bileeta), හේමක අනුරුද්ධ (ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර විසඳුම් කළමනාකරු – Bileeta), ධනුෂ්කා වීරසිංහ (උපදේශක – වර්ධන ක්‍රමෝපාය – Bileeta), සහ ඉනෝකා රණතුංග (ව්‍යාපෘති ක්‍රමෝපායවේදී/සම්බන්ධීකාරිකා – Bileeta) යන මහත්ම මහත්මීහුද ඡායාරූපයෙහි වෙති.

 

 

Leave A Reply

Your email address will not be published.