මැතිවරණ වියදම් සහ ප්‍රචාරණ කටයුතු නියාමනයට නව නීති

නීතිවිරෝධී ලෙස සිදුකරන මැතිවරණ වියදම් සහ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වන පැමිණිලි විභාග කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ විනිශ්චය අධිකාරීයක් සඳහා වන බලතල අවශ්‍ය බව එම කොමිසම පවසයි.

මැතිවරණ සහ ඡන්ද විමසීම ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මැතිවරණ කොමිසමේ නිලධාරින් එම අදහස් පළ කර ඇති බව පාර්ලිමේන්තු සභානායක කාර්යාලය සඳහන් කළේය.

එම විශේෂ කාරක සභාව ඊයේ (08) පස්වරුවේ එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.

එහිදී මැතිවරණයකට අදාළ වියදම් සම්බන්ධව බලයලත් මුදලක් තීරණය කිරීම යෝග්‍ය බව මැතිවරණ කොමිසම කාරක සභාවේ දී යෝජනා කර ඇති බව වාර්තා වේ.

දේශපාලන පක්ෂ සහ ඒ ඒ අපේක්ෂකයන්ට මැතිවරණයක දී වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය කවරේද යන්න යෝජිත බලයලත් මුදලට තුළට අන්තර්ගත විය යුතු බව එහිදි යෝජනා වී තිබේ.

එලෙස බලය ලත් මුදල ඉක්මවා වියදම් කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයින්ට එරෙහිව දඬුවම් නියම කළ යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව විසින් කාරක සභාවේ දී පෙන්වා දී ඇති බව වාර්තා වේ.

තොරතුරු තාක්ෂණය සමග සිදුකෙරෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු නියාමනය සඳහා නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් ඊට නෛතික ප්‍රවේශයක් අවශ්‍ය බවත් එමඟින් සාධාරණ හා නිදහස් මැතිවරණයකට අවස්ථාව උදාවන බවත් කාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදි ප්‍රකාශ කර තිබේ.

මැතිවරණ කාලසීමාව තුළ දී සිදුකෙරෙන අල්ලස් ලබාදීම පාලනය කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කාරක සභාවේ දි ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.