අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් LANKAQR සේවාව රට පුරා ජනගත කෙරේ

LANKAQR සේවාව රට පුරා ජනගතකරණ වැඩසටහන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොළඹ දී සිදු විය. මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව යි. මුදල් භාවිතයෙන් කෙරෙන ගනුදෙනු ඩිජිටල් තාක්ෂණික QR කේත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට LANKAQR මඟින් හැකි වේ.

මෙහිදී අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ලෝකය සමඟ ගනුදෙනු කිරීම තුළ නවීකරණය විය යුතු කාලය එළඹ තිබෙන බවයි.

ලෝකයේ සෑම රටක්ම නවීකරණය වේ. එමෙන්ම ගනුදෙනු කිරීම පිළිබඳ නව ක්‍රමවේද අනුගමනය කෙරේ. රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ලෝකය සමඟ ගනුදෙනු කිරීම තුළ නවීකරණය විය යුතු කාලය එළඹ තිබේ. අපි තවම ඩිජිටල්කරණය ගැන කතා කරනවා. ඒත් ඒ වෙනසට දෙවතාවක් කල්පනා කරනවා. මේ රටේ බොහෝ පිරිසක් තාක්ෂණය සමඟ බද්ධ වී සිටින බව අනුමාන කළ හැකියි. නමුත් බද්ධ වූ තාක්ෂණය සමඟ තමන්ගේ එදිනෙදා ජීවිතය කෙතරම් ප්‍රායෝගික ප්‍රයෝජනවත් ලෙස එය භාවිත කරනවාද යන කරුණ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඒ අනුව ජනාධිපතිතුමාව ද දැනුවත් කර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ඩිජිටල්කරණය හරහා ලෝකයේ නවීන ගනුදෙනු ක්‍රමවේදවලට යා යුත්තේ කෙසේද පිළිබඳ ප්‍රතිපත්ති රාමුවක් සකස්කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට. මෙහිදී යෝජනා වූයේ පළමුව මෙය ජනගත කිරීමයි. එමෙන්ම මෙම තාක්ෂණය භාවිත කිරීමට ජනතාව හුරු විය යුතුයි.

ලබන වසරේ පළමු කාර්තුව වන විට ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණයට සූදානම් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය. ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේ දී මෙරට ජනතාවට ලැබෙන බව ද ඔහු පැවසුවේය.

මේ මොනවා කළත් මේ රටේ ජනතාව මෙම තාක්ෂණය භාවිත නොකරන්නේ නම් ඵලදායි නොවේ. එය භාවිත කිරීමට නම් මූලික අදියරේ සිට ආරම්භ කළ යුතුය. ඩිජිටල් මුදල් හෝ ජාතික හැඳුනුම්පත හෝ මේ සියලු දෙයට යාමට පෙර මුදල් භාවිත නොවන ආර්ථිකයකට යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගත යුතුය. එදිනෙදා ජන ජීවිතය තුළ නිරන්තර එදිනෙදා ගනුදෙනු කරන පුද්ගලයන් තාක්ෂණය සමඟ සම්බන්ධ කර ගත හැකි නම් ඉන් ඉදිරියට අනෙකුත් සියලුම ඩිජිටල්කරණය වැඩසටහන් ප්‍රායෝගිකව ගම්මානවල දියුණු කර ගැනීමට හැකිය. ඩිජිටල් තාක්ෂණය හරහා ජනතාව එදිනෙදා කටයුතු කිරීම සිදුවන තැනට මෙම තාක්ෂණය ජනගත කිරීම කළ යුතුය. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේය. LANKAQR ඔස්සේ වාහන දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදයට ඉතා ඉක්මනින් යාමට අපේක්ෂා කෙරේ.

මෙහි දී අදහස් ප්‍රකාශ කළ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ ලෝකය ඉහළ මට්ටමක සිටින බවත් අප ද රටක් ලෙස ඉක්මනින් එතැනට පැමිණීමට අවශ්‍ය බවත්ය. එවිට මෙරට ආර්ථිකය ලෝකය සමඟ සම්බන්ධ කිරීමට හැකි බව ඔහු පෙන්වා දෙයි. මෙරටට ලැබෙන ප්‍රේෂණ තවත් ඉහළ නංවා ගැනීම සඳහා ඉතා ඉක්මණින් ක්‍රියා කරන බව ද ඔහු පැවසුවේය.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සහ D. V. චානක යන මහත්වරු ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.