කොළඹ මාර්ග ජලයෙන් යට වෙයි… ඉදිරියටත් තද වැසි

තදින් ඇදහැළෙන වර්ෂාව නිසා ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

කොළඹ ආමර් වීදිය, තුම්මුල්ල සහ කිංසි පාර මෙන්ම අතුරු මාර්ග රැසක් ද වැසි ජලයෙන් යටවී තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටද තද වැසි සහ දැඩි සුළං තත්ත්වයක් පවතින අතර වතුකරයේ කදුකර ප්‍රදේශවල අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා එල්ල වී තිබෙනවා.

අධික වැසි සහ තද සුළං තත්ත්වයට අමතරව වරින්වර ඝන මීදුම් තත්ත්වයක් ද එම ප්‍රදේශ වල පවතින බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

පස් කදු කඩා වැටීමේ අවදානමක් මතුව ඇති හෙයින් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයක පමණ තද වැසි අපේක්‍ෂා කළ හැකි බවයි.

Leave A Reply

Your email address will not be published.