ඉරානයේ විශාලතම නෞකාවක් ගිනිගෙන මුහුදුබත් වෙයි..

ඉරානයේ විශාලතම නාවික නෞකාවක් වන ඛාර්ග් නෞකාව ඕමාන් බොක්කේ දී ගින්නක් ඇතිවීමෙන් මුහුදුබත්වී තිබෙනවා.

නමුත් කාර්ය මණ්ඩලය ආරක්ෂිතව බේරා ගත් බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ.

සතුරු කලාපයක සිදුවූ නවතම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් තවමත් මාධ්‍ය වෙත ලබා දී නැහැ.

ඉරානයේ ජැස්ක් වරාය අසල ඊයේ අලුයම 2:25ට පමණ ඉරානයේ වැඩිම ටොන් ගණනක් සහිතවූ නාවික නෞකාවේ ගින්න හටගත් බවයි රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේ.

නෞකාව බේරාගැනීමේ මෙහෙයුම් පැය ගණනාවක් පුරා පැවති බවයි වාර්තා වන්නේ.

1977 වසරේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත කාග් නෞකාව පළමු වරට ඉරාන නාවික හමුදා සේවයට එක්කරගෙන ඇත්තේ 1984 වසරේදීයි.

හෙලිකොප්ටර් අංගනයක් සහිත මෙම නෞකාව ඉතා විශාල බහලුම් රැගෙන යා හැකි පරිදි සකස් කර තිබෙනවා. පුහුණුවීමක් අතරතුර නෞකාව ගිනි ගැනීමට ලක්වුණා. අනතුරට ලක්වන අවස්ථාවේ නෞකාවේ කාර්ය මණ්ඩලය හා පුහුණු නිලධාරීන් 400ක් පමණ රැඳී සිට තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන් නෞකාව ගිනි ගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. පසුගිය අප්‍රේල් මාසයේ ද ඉරානයේ සාවිස් නමැති නෞකාව රතු මුහුදු කලාපයේ දී අනතුරට ලක්වුණා. සතුරු ඉලක්කයක් මෙම නෞකා අනතුරට හේතුවූ බවටයි ඉරානය සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.