ගෝඨාභය රාජපක්ෂ නොව වැදගත් වන්නේ මාව ජනාධිපති ධුරයට ගෙන ආ මතවාදය හා බලවේගය – ජනපති

ගෝඨාභය රාජපක්ෂ නොව වැදගත් වන්නේ තමා ජනාධිපති ධුරයට ගෙන ආ මතවාදය හා බලවේගය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අප එය ආරක්ෂා කළ යුතු බවත් සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයේ අරමුණ මෙම මතවාදය පරාජය කිරීම බවත් ජනාධිපතිවරයා පවසනවා. තමා සිදු කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ.

ඒ, වව්නියාව බෝගස්වැව මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනයට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිය ධුර කාලය ඇතුළත ජනතා ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් තමාට දෝෂාරෝපණය කරන ලෙසයි.

පරිභෝජනය සඳහා ආනයනය කෙරෙන සියලුම ද්‍රව්‍යවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. ආනයනික පොල්තෙල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බව පසුගියදා හඳුනාගැනීමට හැකි වූයේ ද පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස බවත් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් පාරිභෝගික ද්‍රව්‍ය වල ප්‍රමිතිය සහතික කිරීම අදාළ ආයතනවල වගකීම බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

තමා බලයට පැමිණෙන විට සුදු වෑන්, කිඹුලුන්, මෝරුන් ගැන බොරු ගොතා සමාජ ගත කළ කණ්ඩායම් සිය අසත්‍ය ප්‍රචාර අසාර්ථකවීමෙන් පසු දැන් පරිසරය ගැන බොරු සහ දුර්මත සමාජගත කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

Leave A Reply

Your email address will not be published.